කළු යාන්ත්‍රණය බිඳින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(02) පැවැසීය.
ජාතික බදු සතිය සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හෙතම මේ බව අවධාරණය කළේය.
බදු ශක්ති නමින් ක්‍රියාත්මක බදු සතිය ඊයේ සිට ලබන 07 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. මෙම සතිය තුළ දේශීය අදායම් දෙපාර්තමේන්තුව බදු සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරයි.
2024 – 2025 තක්සේරු වර්ෂයේ සිට අදාල බදු ගෙවීම් සම්බන්ධ වර්තාවන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට එක් කිරීම අද සිට දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත වේදීකාවක් ඔස්සේ පමණක් සිදුවන අතර එම මාර්ගගත වේදීකාව රටේ ජනතාව වෙනුවෙන් විවෘත කිරීම අද උදෑසන සිදුවිය.
එය සංකේතවත් කරමින් පළමු බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත් වේදීකාවට එක් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී සිදුවිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.
මේ රටේ පෙනෙන සාමකාමී පද්ධතිය වගේම කළු පද්ධතියක් තියෙනවා. ඒ කළු පද්ධතියෙ ජාවාරම්කාර යම් ව්‍යාපාර කණ්ඩායමක් නියෝජනය කරනවා. මේක ඇත්ත. මෑතකදී රේගුවේ යම් බහළුම් ප්‍රමාණයක් විවෘත කරාට පස්සෙ ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම්වලින් නීතිවිරෝධීව ආනයනය කළ භාණ්ඩ හමුවෙලා තියෙනවා. මෙතන මේ කළු යාන්ත්‍රනයේ ජාවාරම්කාර ව්‍යාපාර අතලොස්සක් තියෙනවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලන අධිකාරිය තිබුණා. මේ කළු යාන්ත්‍රණයේ රාජ්‍ය නිලධාරින් ඉන්නවා. මේ කළු යාන්ත්‍රණයේ නීති විරෝධී සන්නද්ධ අවි ගත්ත අය ඉන්නවා. කළු යාන්ත්‍රණයේ මාධ්‍ය ඉන්නවා. ඒ නිසා අපි ඉදිරිපිට ඉතාමත් සන්විධානාත්මක ලෙස කළු යාන්ත්‍රණයක් තිබෙනවා. මම ඔබට සහතිකයක් දෙන්නම්. මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. හැමකෙනාටම නිතියට යටත්වෙන පරිසරයක් නිර්මාණය කරනවා. හිතන්න ධනය කොච්චර එක්රැස්කරගත්තත් වැඩක් තියෙනවා ද අවුරුදු හැටේ දි අවුරුදු විස්සක් හිරේට යන්න සිද්ධ වෙනවා නම්, මොකද්ද ඇති ඵලය. ඔහු නිදහස් වෙනකොට අවුරුදු 81යි. කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට වැඩක් තියෙනවා ද මහජනයගෙ බදු මුදල්වලින් ඉගෙන ගෙන මහජනය වෙනුවෙන් වැඩ කරන්නෙ නැතිව, මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරන්න පුළුවන් ද ? මොකද්ද ඇති ඵලය. බදු මුදල් ප්‍රශ්නය හුදු බදු මුදල් ගෙවීම හා ලබා ගැනීමේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, එතැනින් එහාට ගියපු ජාලගත ප්‍රශ්නයක් මෙතන තියෙනවා. අද රාජ්‍ය යාන්ත්‍රණය මේකට සූදානම් වෙන්න ඕන. එහෙම සූදානම් වෙන්නෙ නැත්නම් කල්තියා යන්න පුලුවන්. මේ කළු යාන්ත්‍රණය බිඳින්නෙ නැත්නම් මේ රට මෙතනින් අඟලක්වත් ඉදිරියට ගෙන යන්න බැහැ. ව්‍යාපාරිකයන් සාදාරණ ලෙස ව්‍යාපාර කරලා රජයට සාධාරණ බද්දක් ගෙවනකොට ඒ අය ආරක්ෂා කර ගැනිම රජයේ වගකීමක්. බදු ගෙවන්න අපි හැම කෙනෙක්ටම ආරාධනා කරනවා. ඒ හැම රුපියලකටම අපි වගකියනවා. ඒ රුපියලක් හෝ නාස්ති කරන්න වංචා කරන්න සූදානම් වෙනවා නම් ඊට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න අපි මැදිහත් වෙනවා. යැයි කීවේය.