අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ සුළඟින් කොස් ගසකින් වැටුණු කොස් ගෙඩියක් පස් මස් ගැබිණි මවකගේ කුසේ ගැටී කුස තුළ සිටි දරුවා මියයාමේ අනුවේදනීය සිදුවීමක් දැරණියගලින් වාර්තා වේ.
දැරණියගල ලිහිණිවගල ගම්මානයේදී මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 29 වෙනිදා රාත්‍රී කාලයේදීය.
පස්මස් ගැබිණි මව 33 හැවිරිදි වියේ පසුවන්නියකි. ලෑලිවලින් ආවරණය කර ටකරන් සෙවිලිකරන ලද නිවසක ඇය ජීවත්ව ඇත.
ඇය පසුගිය 29 වෙනිදා රාත්‍රී කාලයේ නිවස තුළ නිදාගෙන සිටියදී දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවස අසල ඇති කොස් ගසේ ගෙඩියක් වහලට වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි. එම කොස් ගෙඩිය වහලය කඩාගෙන නිවසේ ඇද මත නිදා සිටි ගැබිණි මවගේ උදරය උඩට වැටී ඇතැයි දැරණියගල පොලිසිය සඳහන් කළේය.
නිවැසියන් සහ අසල්වැසියන් වහාම ඇයව රෝහල්ගතකර ඇතත් බිළිදාගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී තිබේ. ඇය කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය සඳහන් කළේය.