ව්‍යාජ ලියවිලි සමඟ දේශසීමාව හරහා යාමට උත්සහයක නිරතවීමකදී ඇල්බේනියාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනා මෙරට පාතාලයට හෝ මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයදැයි ජාත්‍යන්තර පොලිසිය මගින් විමර්ශනයක් මේ වන විට ආරම්භකර තිබේ.
ඇල්බේනියාව සහ උතුරු මැසිඩෝනියා දේශ සීමාව අසල කාෆේ දේශ සීමාව හරහා ගමන් කිරීමට මෙම ශ්‍රී ලාංකිකයන් උත්සහයක නිරත වෙමින් සිටියදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇත. ඔවුන් ඉතාලියට පැන ගැනීමට සූදානම්ව සිට ඇති බව සඳහන්ය.
පාතාලය ක්‍රියාකාරිකයන් මෙන්ම ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් ද වන කොස්ගොඩ රණා, පරෙයි සුද්දා සහ මිදිගම චූටි නැමැති අය මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවට වූ තොරතුරක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබේ.
ජාත්‍යන්තර පොලිසිය මගින් ඒ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරුවක්ද සිදුකර ඇත. ඒ අනුව එම සැකකරුවන් තිදෙනාගේ විදෙස්ගමන් බලපත්‍ර පිටපත් මෙරටට ගෙන්වාගෙන කළ පරීක්ෂාවේදී පෙනී ගොස් ඇත්තේ ඔවුන් තිදෙනා එකී නම් සඳහන් පාතාල අපරාධකරුවන් නොවන බවය. ඒ අයගේ මුහුණු පරීක්ෂාවක්ද සිදුකර ඇති අතර එහිදීද ඔවුන් එම පාතාල අපරාධකරුවන් නොවන බව තහවුරුවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එහෙත් මෙම ශ්‍රී ලංකිකයන්ගේ අනන්‍යතාව තවදුරටත් තහවුරුකර ගැනීමට විමර්ශන පැවැත්වෙන බවද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.