තවත්
    මුල් පිටුවදේශීය පුවත්වීරකැටියට කෝටි 200 ක කුඩු ආ හැටි

    වීරකැටියට කෝටි 200 ක කුඩු ආ හැටි

    වීරකැටිය පොලිසිය අතුබෝදය ප්‍රදේශයේ කළ වැටලීමකදී ගරාජයක හිමිකරුවෙක් වන ටිංකිරින් කරුවෙක් සහ බේකරි කරුවෙක් සමඟ අත්අඩංගුවටගත් රුපියල් කෝටි 200ට අධික වටිනාකමක් ඇති හොරොයින් කිලෝ 101ක් අඩංගු පැකට් 92 රැගෙනවිත් ඇත්තේ ලොරි රථයක බද කොටසේ ඉතා සුක්ෂමව සඟවා බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    එම ලොරි රථය සහ එම රථයේ මත්කුඩු තොගය අසුරා තිබුණු අයුරු දැක්වෙන ජායාරූප කිහිපයක්ද එක් සැකකරුවෙකුගේ ජංගම දුරකථනයේ තිබී පොලිසිය සොයාගෙන ඇත. ඒ ඔස්සේ මත්කුඩු තොගය අතුබෝදරට රැගෙන ආ ලොරි රථය සොයා විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම මත්කුඩු තොගය ඩුබායි හී රැදී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුට අයත් එකක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. මත්කුඩු තොගය සැගවූ ලොරිය අතුබෝදරට රැගෙන ආ අවස්ථාවේදී ඩුබායි සිටින ජාවාරම්කරු විසින් අවස්ථා කිහිපයකදීම සැකකරුවන්ට ඇමතුම් ලබාදී ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මෙම මත්කුඩු තොගය සඟවා තිබී ඇති ස්ථානයේ බේකරියක් සහ ගරාජයක් සහ නිවසක් ඇති බව පොලිසිය සඳහන් කරයි. මත්කුඩු තොගය සඟවා තිබුනේ යැයි පොලිසිය ස ඳහන් කරනු ලබන්නේ නිවස තුළය. ටිංකරින්කරු සහ බේකරිකරු අවුරුදු 23 සහ 24 යන වයස්වල පසුවන්නන්ය. මෙම සැකකරුවන්ට සතියකට පමණ පෙර කොළඹ රැදී සිටින බව කියන ඔවුන් දන්නා කියන වීරකැටියේ පදිංචි පුද්ගලයෙක් දුරකථන ඇමතුමක් දී ලොරි රථයකින් යමක් එවන බවත් එය ආරක්ෂිතව සගවා තබාගෙන සිටින ලෙසත් පවසා ඇති බව සඳහන්ය. ඊට දින 04කට පසු ලොරි රථය නිවස ඉදිරිපිට ඇති බවට දුරකථන ඇමතුමක් දෙමින් අදාල පුද්ගලයා පවසා ඇති බව කියැවේ. එම ඇමතුමට අනුව ලොරි රථය අසලට ගිය විට එහි බදේ පිටතට නොපෙනෙන ලෙස මත්කුඩු තොගයක් අසුරා ඇති බව දුරකථන ඇමතුමකින්ම දැනගන්නට ලැබුණු බව සැකකරුවන් පොලිසියට පවසා ඇත. යුද්ධය පැවති සමයේදී එල්.ටී.ටී.ඊ.ය පිපිරවීම් සඳහා වාහන වල බදයේ පුපුරණ ද්‍රව්‍ය අසුරා තිබුණු ආකාරයට මෙම ලොරියේ මත්කුඩු අසුරා තිබී ඇති බව ඡායාරූප විමර්ශනයේදී පෙනී ගියේ යැයි පොලිසිය සඳහන් කළේය.

    ලොරි රථය නිවස වෙත පැමිණෙන තුරු ඒ තුළ ඇත්තේ මත්ද්‍රව්‍ය බව නොදැන සිටි බව සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ. “බය වෙන්න එපා. ඕව කුඩු නෙමෙයි. පොලිසියට හවුඋනත් මුකුත් වෙන්නේ නැහැ“ යැයි මෙම මත්කුඩු තොගය සැඟවීමට එවූ පුද්ගලයා දුරකකථනයෙන් පවසා ඇත.

    ලොරි රථයකින් රැගෙන විත් සැඟවූ මෙම මත්කුඩු තොගය ගැන තොරතුරු ලැබී ඇත්තේ පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ වීරකැටිය පොලිස් ස්ථානයේ සේවයේ නිරත නිලධාරියෙකුටය. ඒ පෙරේදා (21) රාත්‍රී කාලයේදීය. එම නිලධාරියා ඒ බව වීරකැටිය පොලිස් ස්ථනාධිපති දැනුවත් කිරීමෙන් අනතුරුව වැටලීම දියත්කර ඇත්තේ ඊයේ (22) අලුයම් කාලයේදීය. එම වැටලීමේදී සඟවා තිබූ හෙරොයින් තොගය හමුවූ බව පොලිසිය සඳහන් කළේය.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක්ද ඊයේ වීරකැටියට පැමිණ අල්ලාගත් මත්කුඩු තොගය පරීක්ෂාවට ලක්කර ඇත. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සවස් කාලයේ පැමිණ විමර්ශන සිදුකර තිබුණි. ඒ මෙම මත්කුඩු සැබෑ ලෙසම මත්කුඩු දැයි තහවුරුකර ගැනීමටය.

    මෙම පරීක්ෂාවන්ගෙන් පසු සැකකරුවන් රැදවුම් නියෝග මත රදවාගෙන විමර්ශන පවත්වන අතර ලොරි රථය සහ රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ඊයේ සිට ක්‍රියාත්මකය. මෙම මත්කුඩු තොගය මෙම ස්ථානයට රැගෙනවිත් සැගවීමට අවශ්‍ය කටයුතු සම්බන්ධිකරණය කළ පුද්ගලයා කොටුකර ගැනීමටද විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img