අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, පොලිස්පති දේශබන්දු තෙන්නකොන්, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ට මරණ තර්ජන එල්ලවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.
අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියට පසුගිය මැයි 15 වෙනිදා විද්‍යුත් තැපැල් ලිපිනයක් මගින් මරණීය තර්ජන එල්ල කිරීමක් සම්බන්දයෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඊට අදාළ ජී මේල් ගිණුම සම්බන්ධයෙන් ගූගල් ආයතනය මගින් විස්තර වාර්තාවක් ලබාගෙන ඇති බවද ඇමතිවරයා පැවසීය. එම වාර්තාවට අනුව එම අයි.පී ලිපිනයන් ජර්මන් හා නෙදර්ලන්ත යන රටවලට අයත් අතර, එම අයි.පී ලිපිනයන්ට අදාළ වාර්තා ජාත්‍යන්තර පොලිස් ඒකකය මගින් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කිරීමට පාතාල කල්ලි නායක ලොකු පැටීගේ හිතවතකු විසින් සැළසුම් කර ඇති බවට 2024.08.23 දින හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ පිළිබඳව විමර්ශන සිදුකළ බවද ඇමතිවරයා පැවසීය. එම තොරතුරු කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් කිසියම් පුද්ගලයකු අපහසුතාවට පත් කිරීම සඳහා ලබාදි ඇති තොරතුරක් බවට අනාවරණය වී ඇති බවත් විමර්ශනයේදී හෙළිවී ඇති බවද ඔහු සඳහන් කළේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීම සඳහා විදේශයක සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු වන බී.සමන් කුමාර නොහොත් අයි.ඩී.එච්. සුද්දා නැමැත්තාට දුරකථන ඇමතුමක් මගින් කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහයක වරයෙක් විසින් හිටපු රාජ්‍ය මුදල් අමාත්‍ය සේමසිංහ මහතා සම්බන්ධයෙන් දුරකථනයෙන් බැන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2024.05.15 වැනිදා රාජ්‍ය මුදල් අමාත්‍යාංශයේ 217 කාමරයේ ඇති දුරකථන අංක 1078 දිගුව ඔස්සේ සවස් කාලයේදී ජංගම දුරකථනයකින් මෙම තර්ජනය කිරීම සිදුව ඇත. අනුරාධපුරයට පැමිණියහොත් ටයර් දමා පුලුස්සා වෙඩි තබා ඝාතනය කරන බවට එහිදී තර්ජනයකර ඇති බවද විජේපාල මහතා පැවසීය.
මේ පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති බවත් වැඩ බලන පොලිස්පතිගේ නියෝගය අනුව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකර ඇති බවත් ඔහු සඳහන් කළේය. ඒකී පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරන ලෙස අධිකරණය නියෝග කර ඇතැයිද අමාත්‍යවරයා කීය. ඔහු මේ කරුණු හෙළිකරනු ලැබුවේ පාර්ලිමේන්තුවේදී අද දිනයේදීය.