කොත්මලේ ගැරඬි ඇල්ලේදී ජීවිත 23ක් අහිමිකරමින් සිදුවූ රිය අනතුරට හේතුව බස් රථයේ කාර්මික දෝෂයක් නොවන බව ඒ සම්බන්ධයෙන් සිදුකළ තාක්ෂණික පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.
මෝටර් රථ පරීක්ෂක, රජයේ රස පරීක්ෂක මෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් තාක්ෂණික පරීක්ෂණය සිදුකර තිබේ. එහිදී කොත්මලේ පොලිස් ස්ථානයේ තිබුණු අනතුරට ලක්වූ බස් රථය පණගන්වා පදවා පරීක්ෂා කිරීමක්ද සිදුකර තිබේ. තිරිංග පද්ධතිය හොදින් ක්‍රියාත්මක වන බව මෙන්ම බස් රථයේ ජියරයද හොදින් ක්‍රියාත්මක බව පෙනී ගොස් ඇත.
ඒ අනුව මෙම අනතුරට හේතුව බස් රථයේ කාර්මික දෝෂයක් නොවන බව පැහැදිලිවම අනාවරණය වී තිබෙන බව කොත්මලේ පොලිසිය සඳහන් කරයි.
විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ රියදුරු අතින් සිදුවූ යම් වරදක් මෙම අනතුරට මුල්වී ඇති බවය.
හේතුව රියදුරුගේ වරදක් බවට සැකකරන තොරතුරු මෙතෙක් කර ඇති විමර්ශන අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
බස් රථය එකවරම මාර්ගයේ බෑවුම පැත්තේ මාර්ගයේ කාපට් තට්ටුවෙන් පිටත නතරකර ඇති බවත් ඒත් එක්කම දෙපැත්තට පැද්දුණු බස් රථය ප්‍රපාතවයට පෙරලී ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මේ බව බස් රථයේ ගමන් කළ මගීන් පොලිසියට පවසා ඇත.
මෙදින රියදුරු යම් තෙහෙටුවකින් බස් රථය ධාවනයකර ඇති බවට තොරතුරුද බස් රථයේ ගමන් කළ මගීන්ගේ ප්‍රකාශ වලින් තහවුරු වී තිබේ. අතර මගදී රථවාහන තදබදයක් හේතුවෙන් බස් රථයේ ගමන විනාඩි 45ක ප්‍රමාදයක්ද සිදුව තිබී ඇත. මේ හේතුව නිසා පැය භාගයක විවේකයක් ගැනීමට බස් රථය හෝටලයක නතරකළද විනාඩි 15කින් නැවත ගමන් ආරම්භකර ඇති බවද අනාවරණය වී තිබේ. ඒ පැමිණෙන ගමනේදී නිදි ගැට කඩමින් රියදුරු පැමිණ ඇති බවත් සුක්කානම අතහැර ඇගේ හිරි කඩා ඇති බවටත් තොරතුරු පොලිසියට ලැබී තිබේ.