ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව අධ්‍යනය කර එම වාර්තාවෙන් අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් ආරම්භකර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අසංක කරවිට මහතාගේ සභාපතීත්වයෙන් යුත් පස් පුද්ගල කමිටුවක් වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත්කර තිබේ.
එම පස් පුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉමේෂා මුතුමාල, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ එච්.ඩී.කේ.එස්. පෙරේරා යන මහත්ම මහත්මීන්ය.
වෙලුම් 05කින් යුක්ත මෙම වාර්තාවේ පිටු හැටහයදහස් තුන්සියකට ව (66,300) වැඩි ප්‍රමාණයක් ඇති බවත් ඊයේ (22) දිනයේම මෙම වාර්තාව අධ්‍යනය කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් මෙම කමිටුවේ උසස් පොලිස් නිලධාරියෙක් “නිවුස්වේව් වෙත පැවසීය.
ප්‍රධාන කමිටුවට අමතරව අනු කමිටු 06ක්ද ක්‍රියාත්මක බවත් ඒ එක් අනුකමිටුවක නිලධාරීණ් 08 දෙනෙක් පමණ සිටින බවත් ඔහු පැවසීය. ජනපති කොමිෂන් සභා වාර්තාවේ එක් එක් පරිච්ජේද මෙම නිලධාරීන් විසින් අධ්‍යනය කරන බව ද එම නිලධාරියා සඳහන් කළේය. මෙතරම් පිටු ප්‍රමාණයක් අධ්‍යනය කිරීම වෙහෙසකර කටයුත්තක් වූවත් දිවා රෑ නොබලා එම වාර්තාව අධ්‍යනයකර මෙතෙක් කර ඇති විමර්ශන වලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය කර ගැනීමට නොහැකි වූ යම් තොරතුරක් වෙතොත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා කඩිනමින් නෛතික පියවර ගැනීමට පියවර ගන්නා බවද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින බවත් ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (22) සඳහන් කළේය.