මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෝටර් රථයක් නිදහස්කර දීමට එහි හිමිකරුගෙන් රුපියල් 275,000ක් වටිනා වායු සමීකරණ යන්ත්‍රයක් අල්ලස් ලෙස ලබාගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිෂමට හසුවූ මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාගේ වැඩ තහනම්කර ඇත.
මීගමුව පොලිස් අධිකාරී කාර්යාල සංකීර්ණයේ පිහිටි විශේෂ අපරාධ විමර්ශන අංශ කාර්යාලය තුළදී මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 29 වෙනිදාය.
මීගමුව ,දළුපොත , සිරකඳවුර පාරේ පදිංචි පුද්ගලයකුගෙන් මෙම අල්ලස ලබාගෙන තිබේ.
එම පුද්ගලයාට අයත් මෝටර් රථයක් පුද්ගලයන් දෙදෙනෙකු විසින් කුළි පදනම මත ලබාගෙන අස්ථානගත කර ඇත. ඒ ගැන ඔහු මීගමුව විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට කර තිබේ.
එම පැමිණිල්ලට අනුව විමර්ශන පැවැත්වූ මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනා මෝටර් රථයත් සමඟ අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අධිකරණය භාරයට පත් කළ මෝටර් රථය අධිකරණයෙන් මුදාගෙන එහි හිමිකරුට ලබාදීම සඳහා අවශ්‍ය කටයුතුකර දීමට නම් වායු සමීකරණ යන්ත්‍රයක් ලබාදෙන ලෙස තමාගෙන් විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ඉල්ලා සිටි බව වාහනයේ හිමිකරු විසින් අල්ලස් කොමිෂන් සභාවට පැමිණිලිකරමින් සඳහන්කර ඇත. පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටි වායුසමීකරණ යන්ත්‍රය රුපියල් 275,000ක් වටිනා එකක් වූ බැවින් ඊට අදාල මුදල් පුද්ගලික බැංකු ගිණුමකට බැරකර ඇත. අනතුරුව එම රිසිට්පත පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදෙන අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.