සංචාරක වීසා මගින් මෙරටට පැමිණි චීන ජාතිකයින් 52 දෙනෙක් සහ ජපන් ජාතික කාන්තාවක් නොරොච්චෝලේ සංචාරක හෝටලයක රැදී සිටිමින් අන්තර්ජාලයෙන් මුදල් ගැරූ ජාවාරමක් හෙළිකර ගත් පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අද දින එම හෝටලය වටලා මෙම විදේශිකයන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ චීන ජාතික යුවලක් වන අතර ඔවුන්ද අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිටියි. නොරොච්චෝලේ හෝටලයේ කාමර 52ක් කුළියට ගෙන මුළු හෝටලයම ඔවුන්ගේ බවට පත්කරමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇත්තේ ඉතා සූක්ෂම ලෙසිනි.
අත්අඩංගුවටගත් චීන ජාතිකයන් අතර චීන කතුන් 08 දෙනෙක්ද සිටින බව පොලීසිය කියයි. පසුගිය 28 ජූනි 28 වෙනිදා මෙම හෝටලය ඔවුන් කුළියට ගෙන ඇත්තේ ඊට පෙර වෙනත් හෝටලයක රැදී සිටීමෙන් අනතුරුවය. වැටලීම සිදුකරන විට 11 දෙනෙක් වැසිකිලිතුළ සැගවී සිටි බව පොලීසිය කියයි.
හෝටල් කාමර පරික්ෂා කිරිමේදි රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුත් පරිඝණක 50 ක් අයි ෆොන් 98 ක් ජාවාරම සිදු කිරිම සදහා යොදා ගත් සිම් කාඩ් 1550 ක් හා භාවිත නොකල සිම් කාඩ් 2000 කට වැඩි ප්රමාණයක් සොයාගෙන තිබේ. චීන ජාතික යුවල භාවිතා කල රුපියල් කෝටි හයකට ආසන්න අධි සුඛෝපභෝගි ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇත. ඒ හැරුණු කොට චීන ජාතික යුවල සන්තකයෙ තිබි ඡාවාරම් මගින් උපයාගත් බව සැකකරන රුපියල් එක්කෝටි දාසය ලක්ෂ පනස් දහසක මුදලක්ද පොලීසියට සොයාගැනීමට හැකිවී තිබේ.