ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කරන තෙක් තමා බලාසිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.
කෙසේවෙතත් මැතිවරණය ජයග්‍රහණය කිරීමේ කටයුතු තමා සිදුකරමින් සිටින බව ඔහු කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට අද(05) එක්වෙමිනි.
අපේක්‍ෂකයා ලෙස තමා නම් කළහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවත් තමා මෙතරම් කැපවී කටයුතු කරන්නේ ද ඒ වෙනුවෙන් බවත් ඔහු කීය.
වර්තමානය වන විට රටෙන් 44% ක් ඡන්දය දෙන්නේ කාටද යන්න තීරණය කර නොමැති බවත් වේදිකාවල කොතරම් ලොකුවට කථා කළත් ආර්ථිකය දියුණු කරන්නෙ කෙසේද යන්න කිසිවෙක් නොකියන බවත් ඒ මහතා කීය.
වේදිකාවට පැමිණිය හොත් ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළ ප්‍රකාශ කළ යුතු බැවින් ඒ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බව ද හෙතෙම කියාසිටියේ ය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉදිරි දින 90 තුළ ආර්ථිකය හදන හැටි කිවයුතු බවත් ආර්ථිකය හදන හැටි කී විට ජනතාවට ආත්මශක්තියක් ලැබෙන බවත් ඒ මහතා කීය.