fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආරක්‍ෂක අමාත්‍යංශයෙන් පොසොන් වැඩසටහන් මාලාවක් අනුරපුරේ දී..

    ආරක්‍ෂක අමාත්‍යංශයෙන් පොසොන් වැඩසටහන් මාලාවක් අනුරපුරේ දී..

    රට ජාතිය වෙනුවෙන් තම දිවි කැප කළ අභීත රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට පින් අනුමෝදන් කිරීමත්, රට දැය සමය රැකගැනීමට සටන් වැද රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ට ඉක්මන් සුවය පැතීමත්, ලක්වාසී සියලු වැසියන්ට සෙත් පැතීමත් අරමුණු කරගනිමින් දාන, ශීල සහ භාවනාදී පින්කම් මාලාවක් අද (ජුනි 21) පොසොන් පුර පසළොස්වක පොහෝ දින ඓතිහාසික අනුරාධපුර සඳහිරු මහා සෑය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

    ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සියලු පින්කම් පැවැත්වේ.

    හිමිදිරි උදෑසන පටන් පැවති ආගමික වැඩසටහන්වලට අමතරව “සුවපත් දැයකට වෙර වඩා උර දෙමු” යන තේමාව පෙරදැරිව, සඳහිරු සෑය පුණ්‍ය භාර ගිණුම වෙත පරිත්‍යාගශීලීන් බැර කල මුදලින් මිළදී ගනු ලැබූ රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් තඹුත්තේගම මූලික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකය වෙත පරිත්‍යාග කිරීම ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ රෝහල් වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් ජයකොඩි මහතාගේ සහභාගිත්වයෙන් අද දින පෙරවරුවේ සිදුකෙරිණි.

    එමෙන්ම, දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ එම සෑ රදුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකෙරෙන ‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා’ ‍ප්‍රදර්ශනය අද උදෑසන සඳහිරු සෑ පුණ්‍ය භුමියේදී ආරම්භ කළේය.

    මෙම පූජනීය වස්තූන් සඳහිරු සෑය වටා පෙරහැරකින් වැඩම කරවා එහි බුද්ධ මන්දිරයෙහි ඉදිකර ඇති රන්සිවි ගෙය තුල තැන්පත් කරමින් සැදැහැවත් බැතිමතුන් හට අතිශය දුර්ලභ පුණ්‍යකර්මයට දායක වීමටත්, කුසල් රැස් කර ගැනීමටත් පරිශ්‍රය තුළ පහසුකම් සලසා ඇත.

    මෙම සර්වඥ ධාතුන් වහන්සේලා එළඹෙන ජුනි 24 දින දක්වා සඳහිරු සෑ පොසොන් කලාපයේදී වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා ඇත.

    අද සවස සිට ඇරඹීමට නියමිත “සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ” භක්ති ගීත ප්‍රසංග, දන්සල්, පහන් කූඩු, තොරණ ආදී අංගයන්ගෙන් සමන්විත අසිරිය විඳ ගැනීමට සැදැහැවත් ‍බැතිමතුන්ට අවස්ථාව ලැබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.