fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"ජිනීවාවට අපිට උත්තර බඳින්න වී ඇත්තේ 71දී 88-89දී අපරාධ කර රටින් ගිය...

    “ජිනීවාවට අපිට උත්තර බඳින්න වී ඇත්තේ 71දී 88-89දී අපරාධ කර රටින් ගිය අයගේ බොරු චෝදනා ගැනයි”

    71 – 89 වකවානුවලදී මිනීමැරුම් කර, හැඳුනුම්පත් පැහැරගෙන, රත්තරන් හොරකම් කර, බැංකු කොල්ල කා රට තුළ සිටීමට නොහැකිව සරණාගතයින් ලෙස ගොස් ජිනීවාහි පදිංචිව සිටින කණ්ඩායමක පැමිණිලි සහ රටට විරුද්ධව බොරු කියමින් සරණාගතභාවය ඉල්ලා රටින් පිටව ගිය පිරිස්වල අසත්‍ය චෝදනා පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පිළිතුරු බැඳීමට රටට සිදුව ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (14) හලාවත ෂර්ලි කොරෙයා ක්‍රීඩාංගනයේ පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

    “මම ජිනීවාවලදි දැක්කා බෝඩ් අල්ලගෙන ඉන්න වාහනයක්. මේ රටේ ප්‍රදර්ශනය කරන්න එකක් එහෙ ප්‍රදර්ශනය කරන් යනවා. මම ඇහුවා ඒ අය ජිනීවාවලත් ඡන්දෙ ඉල්ලනවද කියලා. මුළු ජිනීවා, ස්විට්සර්ලන්තයටම ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ 85,000යි. වැඩියෙන්ම ඉන්නේ දෙමළ ශ්‍රී ලාංකිකයන්. සිංහල ජාතිකයින් 1000කටත් අඩුයි. හැබැයි ගහගෙන යනවා අපි ‘මාලුමාමට’ කියලා. ඒ ඇයි අහපුවම කිව්වේ ‘මෙහෙ ඉන්නවා කට්ටියක් 71 කාලේ ජේවීපී සටන්වලට සම්බන්ධ වෙලා මිනී මරලා, හැඳුනුම්පත් අරගෙන, රත්තරන් හොරකම් කරලා, බැංකු කඩලා ලංකාවේ ඉන්න බැරුව පැනලා ගිය කණ්ඩායමක් ඉන්නවා. ඒ කට්ටිය එක කණ්ඩායමක්. තව කණ්ඩායමක් ඉන්නවා රටේ ඉන්න බෑ, ජීවත් වෙන්න බෑ කියලා රටට විරුද්ධව කේලම් කියලා සරණාගතභාවය ඉල්ලගෙන බොරු කියලා ගිය අය.

    දැන් අපි මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා මුහුණ දෙන්නේ අපේ රට මානව හිමිකම් කැඩුවා කියලනේ. ඔව්, උතුරේ යම් යම් ප්‍රශ්න ඇති වුණා. නොයෙක් ජාතීන්ට ප්‍රශ්න ඇති වුණා. එහෙම නොවී තමන්ට කරදර වුණා කියලා බොරු පැමිණිලි පොලීසිවල කරලා, බොරු දේවල් පත්තරවල දාලා සරණාගතභාවය ඉල්ලන් ගියපු, මේ රටේ අසාථක වුණ පිරිසක් ඉන්නවා රටත් එක්ක තරහක් තියෙන, රටත් එක්ක ඊර්ෂ්‍යා කරන, පොඩි හීනමානයක් තියෙන. රට දැන් දියුණු වෙනවා. ඒකට අකමැති පිරිසක් ඉන්නවා. ඒ අය තමයි බෝඩ් උස්සගෙන පොඩි රැළිවලට යන්නේ. ඔය එකෙක්වත් මේ අම්මලා තාත්තලා වගේ රටට සල්ලි විදිහට දරුවන්ට සත පහක්වත් එවන්නේ නෑ’ කිව්වා. රටට සල්ලි එවන්නේ නෑ. එහෙ ඉඳලා ෆේස්බුක් එකෙන් උද්ඝෝෂණ කරලා රට හදන්න තමයි සූදානම් වෙන්නේ. මෙහෙ ගෙයක් හදන්න, මෙහෙ දරුවන්ට පාසලක් හදන්න, තමන්ගේ වැඩකට සල්ලි එවන්නේ නෑ. මෙහෙ තියෙන දේවලුත් විකුණලා එහෙ ගිහිල්ලා ලංකාව විවේචනය කරන එක තමයි ඒ අයගෙ රස්සාව කියා ඔහු කිව්වා. අද මානව හිමිකම් කවුන්සිලයටත් ගිහින් හැමදාම උත්තර දෙන්න, නිවැරදි කරගන්න වෙලා තියෙන්නේ මේ වගේ බොරු පැමිණිලිත් එකතු වෙලා තමයි. මේ අය රටේ ආර්ථිකය ඉස්සරහට යනකොට, රට සංවර්ධනය වෙන සෑම අවස්ථාවකදීම, තරුණයෝ රට යවනකොට කෑගැහුවා. පහුගිය දවස්වල චෝදනා කළා රට යවන්න එපා කියලා. හැබැයි ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිකිරීම්වලට ලක්ෂ දෙකක් රට යවනවා කියලා තියෙනවා. ඒක තමයි හැටි.” යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.