fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"ජනපතිවරණයේදී තීරණය වන්නේ මගේ නොව, රටේ ජය පැරදුමයි"

    “ජනපතිවරණයේදී තීරණය වන්නේ මගේ නොව, රටේ ජය පැරදුමයි”

    ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තමාගේ ජය, පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගැස් පෝලිම්වල දුක් විදීමට ජනතාවට සිදු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු ආංශික අධික්ෂණ කාරක සභා සඳහා සහභාගිවන තරුණ නියෝජිතයන් සමඟ ඊයේ (11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමිනි.

    අද වේදිකා මත විවිධ පොරොන්දු දෙන පිරිසට රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, මැතිවරණවලදී පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත වැරද්ද නැවත සිදු නොකරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

    රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබා දෙන ලෙස ද මෙහිදී සියලු දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඒ හැර වෙනත් ක්‍රවේදයක් කිසිවෙකුට තිබේ නම් එය රටට ඉදිරිපත් කරන ලෙස ද දන්වා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.