තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතරගම බස් නැවතුම බස්නායක නිලමේගෙන් බේරාගන්න සටනක්

    කතරගම බස් නැවතුම බස්නායක නිලමේගෙන් බේරාගන්න සටනක්

    කතරගම පුද්ගලික හා ලංගම බස් රථ රියදුරන්, ව්‍යාපාරිකයින් පිරිසක් හා ප්‍රදේශවාසින් පිරිසක් එක්ව කතරගම බස් නැවතුම් පොලේ කළු කොඩි ඔසවා බස් රථ ධාවනයෙන් ඉවත්ව අද (28) විරෝධතාවයක නිරත වූහ.

    ඒ කතරගම බස්නායක නිලමේවරයා විසින් කතරගම බස් නැවතුම්පොළට අයත් භූමියෙන් කොටසක් වෙන්දේසි කර කඩබිම් ඉදිකිරීමට ගෙන ඇති යෝජනාවකට විරෝධය පළකරමිනි.

    “නිලමේගේ අත්තනෝමතික තීරණය වෙනස් කරගන්නා තුරු අපි සටනේ”, “පුදබිමට නොගැලපෙන බස්නායක නිලමේ අපට එපා”, “ප්‍රවාහන ඇමතිතුමනි කතරගම බස් නැවතුම දේවාලයේ නිලමෙගෙන් බේරාදෙන්න” ආදි වැකි සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් කතරගම බස් නැවතුම් පොළ ඉදිරිපිටදී මෙම විරෝධතාවය හා වැඩ වර්ජනය පැවැත්විණි.

    වැඩ වර්ජනය හේතුවෙන් කතරගම සිට ධාවනය වු සියළුම බස් ගමන් වාර සම්පූර්ණයෙන්ම නවතා දමා තිබුණි.

    පිට පළාත්වල සිට කතරගමට පැමිණි බස් රථද යළි යාමට නොදි නවතා ගැනිමට විරෝධතාකරුවන් කටයුතු කෙරුණි.

    විරෝධතාවය හේතුවෙන් විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්වූහ.

    කතරගම ලංගම ඩිපෝවේ නිදහස් සේවක සංගමයේ ලේකම් ජී.ආර්.ජේ.කරුණාරත්න මහතා මෙසේ පැවසිය.

    “අද අපි මේ පුද්ගලික බස් රථ හා ලංගම බස් රථ එක්ව වැඩ වර්ජනයක් හා විරෝධතාවයක් පැවැත්වුවේ කතරගම බස්නායක නිළමේ වරයා විසින් මෙම කතරගම බස් නැවතුම් පොළ ඔහු යටතට ගෙන මෙම බස් නැවතුම් පොලට අයත් භූමියෙන් පර්චස් 100ක පමණ ප්‍රමාණයක් වෙන්දේසි කර කඩ ඉදිකිරිමට හා තවත් කොටසක් කාර් පාක් එකක් සදහා යොදා ගැනිමට තීරණය කර තිබිම නිසා. අපි කියන්නේ මේ බස් නැවතුම් පොළට අත තියන්න එපා කියලයි. දැනට තියෙන මේ භූමියත් ඇත්තටම ප්‍රමාණවත් මදි බස් රථ ගාල් කිරීමට.1987 රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයා විසින් ගම්උදාවට සමගාමීව තමයි මෙම කතරගම බස් නැවතුම් පොළ ඉදිකළේ.එම අවස්ථාවේ පාරෙන් එක පැත්තක පුද්ගලික බස් රථ හා පාරෙන් අනිත් පැත්තේ ලංගම බස් රථ ලෙසත් තමයි ඉදිකෙරුණේ.පසුකලෙක ලංගම බස් රථ සදහා කියලා වෙන් කර තිබුණු භූමිය කඩ සදහා පවරා ගෙන දැන් එක බස් නැවතුමක් විතරයි කතරගමට තියෙන්නේ. ඒකෙනුත් කොටසක් පවරා ගන්න යනවා කියන්නේ ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා අපි අද උදෑසන ඉදන් බස් වර්ජනයක් ආරම්භ කළා.කතරගම බස් නැවතුම් පොලින් කිසිම බස් රථයක් ධාවනය වෙන්නේ නෑ.අපිට නිළමේ වරයා විසින් මෙම භූමිය පවරා ගන්නේ නෑ කියන පොරොන්දුව දෙන තෙක් අපේ වැඩ වර්ජනය අපි නවත්වන්නේ නෑ”

    ඌව පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ කතරගම බස් නැවතුම්පොල භාරකරු කහදගමගේ සුදේෂ් තරංග මහතා මෙසේ පැවසිය.

    “මේ වනවිට කතරගමින් පටන්ගන්නා සියළුම බස් රථ ධාවනයෙන් අපි ඉවත්ව සිටිනවා.ඒකට හේතුව තමයි බස්නායක නිලමේවරයා විසින් මෙම ස්ථානයේ තිබුණු බස් නැවතුම පළමු අදියර ලෙස දේවාලයේ පඩුරු මුදලින් කියා ඉදිකර දුන්නා.හැබැයි පසුව අපට දැනගන්න ලැබුණා මේ සදහා මුදල් දීලා තියෙන්නේ ධම්මික පෙරේරා මහතා බව.ඒකට අපිට කමක් නෑ.නිලමේ වරයා බස් නැවතුම් පොළ ඉදිකිරීමෙන් පසු දෙවන අදියර කියලා බස් නැවතුම් පොලට අයත් භූමිය පවරාගෙන එහි කඩ සංකීර්ණයක් ගහන්න හදනවා.එහෙම කළොත් මේ බස් ධාවනය සදහා තිබෙන ඉඩ සිමිත වෙනවා.පාරවල් දිගේ තමයි බස් නවත්තවන්න වෙන්නේ.බස්නායක නිළමේ වරයාගේ මෙම තීරණයට විරෝධය පළකරමින් තමයි මේ අද අපි බස් රථ ධාවනයෙන් ඉවත්ව වැඩ වර්ජනයක හා විරෝධතාවයක නිරත වන්නේ. මේ කතරගම බස් නැවතුම් පොළේ ඉඩම් මිලියන ගනන් වලින් විකුණන්න යන්නේ.ඒ සදහා ගැනුම් කරුවන් පවා මේ වන විට ඉදිරිපත් වෙලා ඉන්නවා.ඉතින් අපි බස් කර්මාන්තයේ නිරත අය විදියට මේ යෝජනවාට විරුද්ධයි.නිලමේ වරයාගේ මෙම තීරණය වෙනස් කරගන්නාතෙක් අපි අඛණ්ඩව මෙම වර්ජනය කරගෙන යනවා.”

    විරෝධතාවයට එක්ව සිටි ව්‍යාපාරික සුදර්ශණ වන්නිආරච්චි මහතා මෙසේ පැවසිය.

    “කතරගම බස්නායක නිලමේ වරයා ඔහුට ඕනෑ පරිදි බස් නැවතුම් පොලට අයත් පර්චස් 100ක පමණ ඉඩම් කොටසක් වෙන්දේසි කර එහි කඩ සංකීර්ණයක් හදන්න යනවා.බස් නැවතුම් පොළ සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් අපට කිසිම ගැටළුවක් නැහැ.අපි කියන්නේ රටේ නන් දෙසින් බස් රථ එන මෙම බස් නැවතුම් පොල සදහා මේ වන විට ඉතිරි වෙලා තියෙන්නේ ඉතා කුඩා භූමි ප්‍රමාණයක් විතරයි.කතරගම පෙරහැර කාලෙට මෙම බස් නැවතුමේ බස් නවත්වන්න තියා එන ජනතාව හසුරුවා ගන්න තරම්වත් ඉඩක් නෑ.එහෙම තියෙද්දිත් එතුමා දැනට බස් නැවතුම් පොල සදහා ඉතිරිව තියෙන භූමියෙනුත් කොටසක් මේ විදියට වෙන්දේසි කරන්න යන එකට අපි විරුද්ධයි.බස්නායක නිලමේ වරයා මේ කරන්න යන්නේ විවිධ ව්‍යාපාරිකයන් ටිකකට මේ බස් නැවතුම් පොළේ ඉඩම් ටික විකුණලා දමන්න.ඒ නිසා ව්‍යාපාරිකයන් විදියට අපි කියන්නේ මේ කිප දෙනෙකුගේ අදහස් වලට විතරක් ඇහුකම් දීලා බස්නායක නිලමේ වරයා මේ කරන්න යන දේ වහාම නවත්වන්න ඕනි.අද මේ කතරගමට ආව ජනතාවට ගම්බිම් බලා යන්න විදියක් නෑ බස් වර්ජනය නිසා.අපිත් වර්ජනයට සහාය දුන්නේ බස්නායක නිලමේ වරයා කරන්න යන මේ වැඩේ වැරදි නිසයි.”

    මේ සම්බන්ධයෙන් අප කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදි ඔහු මෙලෙස පැවසිය.

    “ලැබිච්ච අවස්ථාවේ ගමටත් රටටත් සේවක් කරන්න හැදුවා මිසක් වෙන දෙයක් නෙමේ මේ කරන්න හැදුවේ.ලංගම ඇමති වරයෙක් ඉන්නවා,ලේකම් වරයෙක් ඉන්නවා.ඒ අය අකමැති නම් මම මේක කරන්නේ නෑ.බස් නැවතුම් පොළ හදන්න කලින් නාගරික සංවර්ධන අධිකාරියට කිව්වා ඒ සදහා ප්ලෑන් එකක් හදන්න කියලා.ඒ අනුව 2023 මැයි 11 සියළුම දෙනා කැදවලා සියළුම දෙනාගෙ අදහස් අරගෙන තමයි බස් නැවතුම් පොළ සංවර්ධනය කරන්න පටන් ගත්තේ.එහිදී පැහැදිළිවම කිව්වා පළමු අදියර යටතේ බස් නැවතුම් පොළ ඉදිකිරිමත් දෙවන අදියර යටතේ පහසුකම් සහිත ආපන ශාලා ඇතුළු කඩ සංකීර්ණයක් හා මෝටර් රථ නැවතුම් පොළක් ඉදිකිරීමත් තමයි යෝජනා උනේ.මේ කඩ ආයෝජකයන්ට දීලා ලැබෙන මුදලින් මේ කතරගම දියුණු කරන්නයි ඕනි වුනේ.ඉතින් මේක කරන්න ඕනි නැත්නම් මේක කරනවාට විරුද්ධ නම් මම මේක නවත්වනවා.මට මේක කොහොම හරි කරන්න ඕනි කියලා එකක් නෑ”.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img