තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කරාපිටිය රෝහල, ජාතික රෝහලක් කරයි

    කරාපිටිය රෝහල, ජාතික රෝහලක් කරයි

    කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් ලෙස කාණ්ඩගත කරමින් ‘ගාල්ල ජාතික රෝහල’ ලෙස නම් කිරීමට රජය තීරණය කරයි.

    කොළඹ ජාතික රෝහලට සහ මහනුවර ජාතික රෝහලට අමතරව ගාල්ල ජාතික රෝහල ස්ථාපනය කෙරෙන අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    කරාපිටිය ශික්ෂණ රෝහල, දකුණු පළාතෙහි සහ යාබද පළාත්වල රෝගීන්හට මාතෘ සත්කාර සේවා හැර තෘතීයික සේවා සපයන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වේ.

    එකී පළාත්වල ප්‍රාථමික හා ද්විතීයික සෞඛ්‍ය සත්කාරක සේවා ආයතන මඟින් විශේෂඥ සේවාවන් සඳහා මෙම රෝහල වෙත රෝගීන් යොමු කිරීම සිදු කරනු ලබයි.

    රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගැන්වීමේ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කර ඇත.

    ඒ අනුව, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි අපේක්ෂකයන් 1,100 දෙනෙකුට පමණ, ගාල්ල හෙද පුහුණු පාසලේ හෙද සිසුන් 500 දෙනෙකුට පමණ සහ ආසන්න වශයෙන් භෞත චිකිත්සකයන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණඥයින් 100 දෙනෙකුට පමණ වාර්ෂිකව ඉගැන්වීමේ සහ පුහුණු කිරීමේ පහසුකම් සැපයීම මෙම රෝහල මගින් සිදු වේ.

    මෙම වසර අවසන් වන විට රෝහලෙහි ඇඳන් ධාරිතාවය 2,858ක් දක්වා වැඩි කිරීම මත එය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට පමණක් දෙවැනි වන තෘතීයික සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත් වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img