fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෙසක් පොහොය අදයි

    වෙසක් පොහොය අදයි

    ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි.

    බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක ය.

    බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය.

    එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයකි.

    පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ උදුවප් පොහොය දිනයේදීයි සිරිපා වන්දනා සමය ආරම්භ වූ අතර ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමත් සමග උඩමළුවේ තැන්පත් කර ඇති සමන්දේව ප්‍රතිමා වහන්සේ සහ දේවාභරණ යළි පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදු කෙරේ.

    විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි.

    බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියෝ අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකය.

    ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

    පසුගිය 21 සිට 27 වැනිදා දක්වා කාලය රජය විසින් වෙසක් සතිය ලෙස ප්‍රකාශ කර ඇත.

    රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන්නේ ‘අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාවෙන් යුතුව ය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද වෙසක් සතිය නිමිත්තෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ අද පැවැත්වෙන ජාතික මහෝත්සවයට එක්වීමට නියමිතය.

    මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් සිරකරුවන් 278 දෙනෙකු හට අද විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට තීරණය කර තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 දෙනෙකු සහ මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 37 දෙනෙකු මෙලෙස නිදහස් කෙරෙන සිරකරුවන් අතරට අයත් වේ.

    ඒ අතර කාන්තා රැඳවියන් 10 දෙනෙකු ද සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

    අද දිනට යෙදෙන වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙසක් දිනය වෙනුවෙන් ජනතාවට නිකුත් කළ පණිවුඩය පහතින්.

    වෙසක් පණිවිඩය

    වෛශාඛ්‍ය මංගල්‍යය යනු සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය අනුස්මරණය කරන ලෝක බෞද්ධ ජනතාවගේ පූජනීය දිනයකි. ආමිස පූජා මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුලිකත්වය දෙමින් ශ්‍රී ලාංකේය ජනතාව මෙන්ම දෙස් විදෙස් බෞද්ධ සිව්වනක් පිරිස ඉතා බැතියෙන් වෛශ්‍යාඛ්‍ය මංගල්‍යය සමරනු ලබන්නේ එය සම්බුද්ධ පූජාවක් ලෙස සළකමිනි.

    බුද්ධත්වය උදෙසා බුදුන් වහන්සේ තුළ තිබූ සම්මා වීර්යය, අප සැවොම මේ අසීරු මොහොතේ රටක් ලෙස ඇති කර ගත යුත්තේ ‘යහපත් හෙට දිනක් වෙනුවෙන් අද දවස කැප කිරීමට “මත්තාසුඛ පරිච්චගා – පස්සෙ චෙ විපුලං සුඛං” ලෙස කර ඇති බුද්ධ දේශනාව පදනම් කර ගෙනය.

    “සබ්බත්ථ සම්මානසො” සියල්ලන්ට සමානව සැලකීමේ සමානාත්මතා සම්බුද්ධෝපදේශනය අද දින අප සිහි කළ යුතුවාක් මෙන්ම රටක් ලෙස එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම ද මේ වෙසක් දා බුදුන් උදෙසා පිදිය හැකි මහඟු බුද්ධ පූජාව වන්නේය.

    ජාති, ආගම්, කුල භේද මෙන්ම පක්ෂ පාට නොතකා එකාවන්ව එක්ව, ගොඩනඟමින් ඇති රට සුවපත් කරන්නට අප සැවොම පෙළ ගැසිය යුතුය. ලිච්ඡවි රාජ ධර්මය ඒ සඳහා අපට මග පෙන්වනු ඇත.

    සීඝ්‍ර ලෙස භෞතිකව සංවර්ධනය කරා පිය මනින ලෝකය තුළ ආකල්පමය සංවර්ධනයකින් යුත් ආධ්‍යාත්මික ආචාරශීලි ‘මිනිසකු‘ නිර්මාණය කර ගැනීමට මේ වෛශාඛ්‍ය මංගල්‍ය යේ ඇති කර ගත යුතු ප්‍රමුඛතම අරමුණ බව සිහිපත් කරමින් සැමට පිංබර වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කරමි.

    රනිල් වික්‍රමසිංහ,
    ජනාධිපති,
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ වෙසක් පණිවුඩය පහතින්.

    වෙසක් පණිවුඩය.

    බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සමරණ වෙසක් පොහෝ දිනය බෞද්ධ ජනයාගේ පරම පූජනීය දිනයයි. අනාදිමත් කාලයක සිට ලක්වැසියා ,එය බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව මහත් හරසරින් සමරයි.

    ස්වභාවික ව්‍යසන හා ආර්ථික අර්බුදයන් හමුවේ අඩපණව තිබී, වසර ගණනාවකට පසුව පූර්ණ වෙසක් උත්සවයක් සැමරීමේ අවස්ථාව මෙවර ලාංකික අපට උදා වී ඇත.

    ලෝක ස්වභාවය, දිනෙන් දින වෙනස් වේ. වර්තමානය වන විට, ලොව ජීවන රටාවේ අප සිතූ මාර්ග කඩා වැටෙමින් ඇත. මේ නිසා ලෝකවාසී ජනයා ජීවිත ස්වභාවය අවබෝධ කරවන බුදු දහමේ මග අනුගමනය කිරීම හරහා බුදු දහමේ හරය සොයා යමින් සිටී. බුදු දහමේ ඉගැන්වෙන මැදුම් පිළිවෙත එකී ධර්ම මාර්ගයයි.

    සර්ව කාලීන දර්ශනයක් වන එකී මැදුම් පිළිවෙත වෙනදාටත් වඩා වත්මන් අධ්‍යයතන සමාජයට මඟ පෙන්වනු ඇත.

    අද ලොව කතා කරන ආර්ථික පිළිවෙතකට, ආර්ථික සංවර්ධනයකට මැදුම් පිළිවෙත අනුගමනය කිරීම වඩාත් අර්ථවත් වේ. මැදුම් පිළිවෙත සදා ශාන්තිය ගෙන දෙන පිළිවෙත් මඟකි.

    වෙසක් සැරසිලි ජීවිතයේ අනිත්‍යතාවය පසක් කරන ගැඹුරු මානසික අභ්‍යාසයකි. ජීවිතය සමබර නොවීම විනාශයට මඟ පාදන බව දරුවන්ට අත්දැකීම් තුළින් අවබෝධ කර ගැනීමට එය මඟ පාදයි.

    එබැවින් අත්දැකීම් තුළින් ජිවිතය අවබෝධ කරවීමටත්, වෙසක් කලාව නොනැසී පවත්වා ගැනීමටත්, වෙසක් සැරසිලිවල යෙදීමට දරුවන් යොමු කරවීම වැඩිහිටි සැමගේ යුතුකමයි.

    යළි යළිත් උතුම් බුද්ධ දර්ශනයේ මග පසක් කරමින් මේ වෙසගේ ආමිස, ප්‍රතිපත්ති පූජා කරමින් මෙත්තා, කරුණා මුදිතා උපේක්ෂා යන සිවු බඹ විහරණ පෙරදැරි කරගත් සමාජයක් තුළ කටයුතු කරමු.
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

    දිනේෂ් ගුණවර්ධන (පා.ම),
    අග්‍රාමාත්‍ය,
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
    2024 මැයි මස 22 දින

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ වෙසක් දින පණිවුඩය පහතින්.

    බංකොලොත්භාවයත් ජන ජීවිත කඩා වැටීමටත් සමඟ රට අඳුරේ පවතියි. මේ අන්ධකාරය නිමා කර නැවතත් ප්‍රඥාවේ, සමෘද්ධියේ, සෞභාග්‍යයේ ආලෝකය දැල්වීමට කාලය එළැඹ තිබේ. වෙසක් දිනයේ ඔබ දල්වන එක් පහන් සිලු‍වකින් රට වැටී ඇති අන්ධකාරයෙන් ආලෝකය කරා පියනැගීමට අවශ්‍ය ප්‍රඥාව පහළ වේවා කියා හදවතින් ප්‍රාර්ථනා කරන්නෙමි.

    සජිත් ප්‍රේමදාස
    විපක්ෂ නායක,
    සමගි ජනබලවේගයේ නායක.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.