fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලංකාවට ජනාධිපතිවරු වැස්සක් - කාන්තාවෝ නෑ!

    ලංකාවට ජනාධිපතිවරු වැස්සක් – කාන්තාවෝ නෑ!

    ලබන ඔක්තෝම්බර් මුල් සතියේ පැවැත්වීමට යන බව කියන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වන බව කියන පුද්ගලයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත්වනු ඇතැයි දැනටම ප්‍රකාශයට පත්ව තිබෙන අතර අරගලයෙන් වැටුණු රට සාමාන්‍ය තත්ත්වයට පත් කළ නායකයා ලෙස ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරනය ක්‍රියාත්මක වනු ඇතැයි පැවසෙයි.

    මෙයට අමතරව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාධිපතිවරණයේ ඉදිරියෙන් තරග කරන අපේක්ෂකයන් වනු ඇත.

    මවුබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රොෂාන් රණසිංහ,ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක, ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගේ මුණුබුරකු වන ඉශාන් ජයවර්ධන මහත්වරු ජනමාධ්‍ය අතරින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් ලෙස ප්‍රකාශයට පත්ව තිබේ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ජනපති අපේක්ෂකයා වීමේ වෑයමක් ද පවතින අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද එසේ ඉදිරියට පැමිණි නම් අතර වේ.

    ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ද මීට පෙර ජනාධිපතිවරණ සුදානමක් පෙන්නුව ද ධම්මික පෙරේරා මහතා ඇතුළු ව්‍යාපාරිකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව පැවසීමත් සමඟ එම තත්ත්වය ප්‍රසිද්ධියට පත්වූයේ නැත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පවරා ඇති අතර, එහි අවසන් තීන්දුව ලබන මැයි 01 වැනිදා ප්‍රකාශයට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.

    මෙවර ජනාධිපතිවරණය මෙතෙක් ප්‍රධාන පෙළේ පක්ෂයක කාන්තාවක් ඉදිරිපත්ව නැති අතර ඉදිරියේ දී කාන්තාවන්ද ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්වනු ඇති බව පසුගියදා කාන්තා සංවිධානය කිහිපයක් ප්‍රකාශ කර තිබිණි.

    පසුගිය 2019 පැවැති ජනාධිපතිවරණයට අපෙක්ෂකයන් 14ක් ඉදිරිපත් වූ අතර මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂක සංඛ්‍යාව ඊට වඩා දිගු වනු ඇතැයි දැනට ඉදිරිපත්වන නම් අනුව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම තත්ත්වය වෙනස්වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

    යම් හෙයකින් අපේක්ෂකයන්ගේ ලැයිස්තුව තවත් ඉහළ යන්නට ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවල දිග ද වැඩිවන අතර ඊට සමගාමීව රජයේ ජනාධිපතිවරණ වියදම ද තවත් ඉහළ යනු ඇත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.