fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කලවානේ පීපල්ස් ලීසිං එකේ සේප්පුවේ තිබ්බ කෝටි 07ක රන් සොරකම එළියට...

    කලවානේ පීපල්ස් ලීසිං එකේ සේප්පුවේ තිබ්බ කෝටි 07ක රන් සොරකම එළියට ආ අයුරු

    කලවානේ පිහිටි පීපල්ස් ලීසිං ශාඛාවකට හොර රහසේ ඇතුළු වී සේප්පුව විවෘතකර ඒ තුළ තිබුණු රුපියල් කෝටි 07ක් පමණ වටිනාකමක් ඇති උකස් තැන්පතු ලෙස තිබුණු රන් භාණ්ඩ තොගයක් සොරාගත් එම මූල්‍ය ආයතනයේ රන් අලෙවි නිලධාරියාත් ඒ සඳහා ඔහුට සහය දැක්වූ බව කියන ණය අංශයේ නිලධාරියාත් එම සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී පැය 04ක් යන්නට මත්තෙන් කලවාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    රුපියල් හයකෝටි අනූඑක් ලක්ෂ විසිඅට දහස් තුන්සිය පනස් හතක් වටිනා රන් කිලෝ 03යි ග්‍රෑම් 770ක් මෙසේ සොරාගෙන ඇති අතර එම රන් භාණ්ඩ තොගයම රන් අලෙවි නිලධාරියාගේ පිටුපස ඇති වෙලක වලදමා තිබියදී ගොඩගෙන ඇත.

    එම රන් භාණ්ඩ අතර මාල, මුදු,වළලු, බේස්ලට්, කරාබු, පෙන්ඩන්, අතුළු විවිධ වර්ගයේ රන් භාණ්ඩ ඒ අතර තිබී ඇතැයි පොලිසිය කියයි.

    මූල්‍ය ආයතනයට පැන මෙම සොරකම සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් කලවාන දොලහේනේ පදිංචි සුරංජිත් බණ්ඩාර(33) නැමැති රන් අලෙවි නිලධාරියාත්, මෙම සොරකම ගැන දැන සිට එය හෙළිනොකර ඊට අධාර හා අනුබද දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් කලවාන පොතුපිටියේ පදිංචිකරුවෙක් වන ණය අංශයේ නිලධාරි තිවංක ජයසේකර (26)ත් කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (23) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (24) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල අදාල මූල්‍ය ආයතනයේ වැඩ බලන කළමනාකරු විසින් කලවාන පොලීසියට කර ඇත්තේ පෙරේදා (22) උදෑසන 8.00ට පමණය. පොලීසියට ඔහු පවසා ඇත්තේ පසුගිවය 20 වෙනිදා සවස 2.00 වසා නැවත උදෑසන මූල්‍ය ආයතනය විවෘතකරන විට එය හොරු බිඳ සේප්පුවේ තිබූ රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවය. සොරුන් විසින් එම මූල්‍ය ආයතනයේ ආරක්ෂක කැමරාවේ දත්ත පද්ධතිය පවා ගලවාගෙන ගොස් තිබේ.

    වැඩ බලන කලමනාකරු පොලීසියට පවසා ඇත්තේ උදෑසන මූල්‍ය ආයතනය විවෘත කිරීමට යාමේදී ප්‍රධාන දොරට දමා තිබුණු ඉබි අගුල් 04 න් විවෘත කිරීමට හැකිවූයේ එකක් පමණක් බවය. මෑතකදී මෙම ආයතනයට බදවා ගත් ආරක්ෂක නිලධාරියා ඉබ් යතුරු මාරුකර ඇති බව සැකකරමින් කලමනාකතරු විවෘත නොවූ ඉබ් කඩා කාර්යාලය තුළට ගොස් තිබේ. එහිදී දැක ඇත්තේ දොර ජනේල් බිද කාර්යාලය තුළ යකා නටා ඇති අයුරුය. වහාම ක්‍රියාත්මක වූ කළමනාකාරු මේ ගැන කලවාන පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව කාර්යාලයේ ඇති සේප්පු තුන විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් ඉදිරියේය. එහිදී සේප්පු දෙකක් යතුරුවලින් පහසුවෙන් විවෘත වූවත් රන් තැන්පතු තිබුණු සේප්පුව යතුරෙන් විවෘත වී නැත. එබැවින් කලවානේ පිහිටි සහෝදර බැංකු ශාඛාවක ආරක්ෂාවට තිබුණු එම සේප්පුවේ අමතර යතුර ගෙන්වාගෙන කළමනාකරු එම යතුර දැමා විවෘත කිරීමේදී සේප්පුව විවෘත වී ඇත. එහෙත් ඒ තුළ තිබුණු රන් භාණ්ඩ සියල්ලක්ම සොරාගෙන ගොස් තිබී ඇත.

    මෙහිදී පොලීසිය කළමනාකරු සමග එක්ව බැංකුවේ ආරක්ෂක කැමරා පද්ධතියේ ඩෙකෝඩරය පරීක්ෂා කිරීමේදී දැක ඇත්තේ එයද සොරාගෙන ගොස් ඇති බවය. එය සොරාගත්තද මෑතකදී මෙම මූල්‍ය ආයතනයේ ආරක්ෂක කැමරා පද්ධතිය නව තාක්ෂණය සමග නවීකරණය කිරීම හේතුවෙන් දර්ශන වෙනත් ස්ථානයක පටිගත වී තිබී ඇත.. ඒ තැනින් දර්ශන එකින් එක පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ මෙම සොරකම රන් අලෙවි නියෝජිත සුරංජිත් බණ්ඩාර විසින් සිදුකර ඇති බවය.

    පසුගිය 20 වෙනිදා සවස 2.00ට මූල්‍ය ආයතනය වසා කළමනාකාරු ඇතුළු පිරිස පිටව ගිය පසු රන් අලෙවි නිලධාරියා කාර්යාලය වෙත පැමිණ දොරගුළු විවෘතකර මෙම සොරකම සිදුකර ඇති බව පැහැදිලිවම එහිදී හෙළිවී තිබේ.

    වසර ගණනාවක් තිස්සේම මෙහි සේවයේ නිරතව සිටින විශ්වාසවන්තම සේවකයෙක් වූ මෙම රන් අලෙවි නිලධාරියා කොතරම් විශ්වාසවන්ත ලෙස සලකා ඇත්තේදැයි සඳහන් කළහොත් ආයතනයේ ප්‍රධාන දොරෙහි යතුරු තිබී ඇත්තේ ඔහු සන්තකයේය. එම යතුරු වලින් ඔහු ආයතනය විවෘතකර පසුව එම දොරෙහි තිබුණු ඉබි හතර කාර්යාලය තුළදී තලා විසිකර ඇත්තේ සොරෙකුගේ ක්‍රියාවක් බව ඒත්තු ගැන්වීමටය. අනතුරුව ඔහු සේප්පුවත් විවෘතකර රන් භාණ්ඩ රැගෙන ආයතනයේ වීදුරු ජනේල් හා දොරවල්ද කඩා ආරක්ෂක කැමරාවේ ඩෙකෝඩරයත් රැගෙන ගොස් ඇත්තේ වෙනත් ඉබ්බන් සිව් දෙනෙක් එහි දමාය. අලුත් කැමරා ආරක්ෂක පද්ධතිය ගැන ඒ වන විට මෙම සැකකරු කිසිවක් දැන සිට නැත. 22 වෙනිදා ඔහු කිසිවක් නොදන්නා අයෙක් ලෙස පොලීසියට පවා යන්නට ඔහු ඉදිරිපත්ව ඇති බව සඳහන්ය.

    මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළිවී ඇත්තේ සේප්පුවේ යතුරු දෙක සොරාගෙන එය ණය අංශයේ නිලධාරියා සමඟ යතුරු කපන්නෙකුට ලබාදී ඒ හා සමාන ලෙස ව්‍යාජ යතුරු දෙකක් මුලින්ම සකස්කර ගත්බවය. පසුගිය 20 වෙනිදා කළමනාකරු විසින් සේප්පුව වසා දැමීමෙන් පසු යතුරු කැරැල්ලෙන් සේප්පුවේ යතුරු දෙක සොරාගෙන ව්‍යාජ යතුරු දෙක එම කැරැල්ලට දැමූ බව ද ප්‍රශ්න කිරීමේ හමුවේ පවසා තිබේ.

    රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් හතර වටේ ඔහු ණය වී සිටි බැවින් ඉන් මිදීම සඳහා මෙම සොරකම කාලයක් තිස්සේ කළ සැළසුමකට අනුව සිදුකර තිබෙන බවද හෙළිවී ඇත. ණය අංශයේ නිලධාරියාද රුපියල් ලක්ෂ 06ක ණයක් ලබාගෙන එය ගෙවීමට නොහැකිව සිටින බැවින් මෙම සොරකමට ඔහුව හවුල්කරගෙන ඇති බව පෙනී ගොස් තිබේ. එහෙත් ඔහු මෙම සොරකම දැන සිටියත් සොරකමට සක්‍රීයව සම්බන්ධ වී නැති බව විමර්ශණයේදී හෙළිවී ඇත.

    ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත සොරාගත් රන් භාණ්ඩ ලීටරයේ ප්‍රමාණයේ අයිස් ක්‍රීම් භාජනයක දමා පොලිතින් උරයකත් පොහොර උරයකත් බහා වෙලේ වලදමා තිබියදී ගොඩගත් බවත් සේප්පුවේ යතුරත් සොයාගත් බවත් පොලීසිය කියයි.

    මෙම සොරකම සිදුකිරීමට මුලින් සැලසුම්කර තිබී ඇත්තේ අලුත් අවුරුදු නිවාඩු දිනවලදීය.

    කලවාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් විජයතුංග මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක මංගල (91164) පො.කො. සුපුන් (164553) පො.කො. කුලතුංග (42814) පො.කො. කැකුලන්දල (91578) කාන්තා පොලිස් සැරයන් ලක්මාලි (2748) යන නිලධාරීන් වැටලීම සිදු කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.