fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තරුණයකුගේ වෘෂණ කෝෂයක් අහිමිවන්නට පහරදුන් සැරයන් දෙදෙනා රිමාන්ඩ්

    තරුණයකුගේ වෘෂණ කෝෂයක් අහිමිවන්නට පහරදුන් සැරයන් දෙදෙනා රිමාන්ඩ්

    පොලිස් අණ නොතකා කුඩා ලොරි රථයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් උරණ වී පොලිස් සැරයන්වරයෙකුගේ 23 හැවිරිදි පුතෙකුට අමානුෂික ලෙස පහරදී වෘෂණ කෝෂයක් අහිමි කිරීමට සම්බන්ධ මැදව්චිය පොලීසියේ සේවයේ නිරත රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුව අද (11) අත්අඩංගුවටගත් පොලීසිය ඔවුන් දෙදෙනාව මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වෙනිදා හදුනාගැනීමේ පෙරට්ටුවක් දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

    මෙසේ රක්ෂිත බන්ධනාගාරගතකර ඇත්තේ පොලිස් සැරයන්වරුන් වන සේනානායක (45411) සහ සෙනෙවිරත්න (75324) යන නිලධාරීන් දෙදෙනාය.

    මෙම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්කළ බවත් මෙම 23 හැවිරිදි තරුණයාට අමතරව තවත් ලොරි රථයේ සිටි තවත් අයෙකුටත් පහරදී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය. මෙම පහරදීම සිදුවන අවස්ථාවේ මැදවච්චිවය පොලීසියේ සේවයේ නිරත තවත් නිලධාරීන් සිව් දෙනෙක් එම ස්ථානයේ රැදී සිට ඇති බවත් පහරදීම වැලැක්වීමට ඔවුන් ක්‍රියාකර නොමැතිව ඊට අධාර හා අනුබල දීම සම්බන්ධයෙන් ඔවුන් සිව් දෙනාව වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකර යවා ඒ අය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකල බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය. මෙසේ ස්ථානමාරුකර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරු තිදෙදෙනකුය.

    පහරකෑමට ලක්ව වෘෂණ කෝෂයක් අහිමිකරගත් තරුණයාගේ පියාද මැදවච්චිය පොලීසියේ සේවයේ නිරතව සිටින සැරයන්වරයකු බවත් ඔහුට පහරදුන් නිලධාරීන් එම තරුණයා පොලිස් සැරයන්ගේ පුතා බව දැන දැනම පහරදී ඇති බවත් පෙනී යන බවද උසස් පොලිස් නිලධාරියා කීය.

    රථවාහන අංශයේ මෙම නිලධාරීන් දෙදෙනා මැදවච්චිය නගරයේ රථවාහන අංශයේ රාජකාරියේ නිරතව සිටියදී ඉකුත් 07 වෙනිදා මාර්ගයේ ගමන් කරමින් තිබුණු ලොරි රථයක් නතර කිරීමට සංඥාකර ඇතත් එම සංඥාවට අවනත නොවී ලොරි රථය ධාවනය වී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ලොරි රථය ගමන්කර ඇත්තේ මන්නාරම දෙසට බැවින් රථවාහන අංශයේ නිලධාරීන් එම රථය පස්සේ හඹාගොස් තිබේ. ඒ අතර තුර වෙනත් වැටලීම් රාජකාරියක නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනාද මෙම රථවාහන අංශයේ නිලධාරීන් සමඟ අතර මගදී එක්වී ඇති බව කියැවේ.

    ලොරි රථය නතරකර ගැනීමට හැකිවී ඇත්තේ කිලෝ මීටර් හතර පහක් පමණ පන්නා යාමෙන් පසුව බව ද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ රියදුරු බීමතින් එම අවස්ථාවේදී සිට ඇති බවය. එහිදී සැරයන්වරයෙක් එම රියදුරුව ලොරියෙන් බිමට බස්සවා ඔහුගේ පාදයේ දණිහිසින් යටිබඩ ප්‍රදේශයට පහරදී ඇති බවද විමර්ශන වලින් පෙනී අනාවරණය වී තිබේ. තරුණයාගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදුව ඇත්තේ එම පහරදීමෙන් බව පැහැදිලිවම විමර්ශන වලින් පෙනී යන්නේ යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. පොලිස් සිරමැදිරියේ රදවා සිටි තරුණයා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇති බවත් ඔහුගේ වෘෂණ කෝෂය ඉවත්කර ඇත්තේ අනුරාධපුරයේදී බවත් පොලීසිය කියයි.

    මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ මැදවච්චිය තුලාවෙල්ලිය ප්‍රදේශයේ දිලීෂ සංගීත් නමැති තරුණයාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.