මුහුණට මිරිස්කුඩු ගසා රුපියල් ලක්ෂ 60ක් වටිනා මැණික් පාර්සලයක් සහ රුපියල් ලක්ෂ 06ක් මහ මගදී කොල්ලකෑ බවට මැණික් ව්‍යාපාරිකයෙකු විසින් ඇඹිලිපිටිය පොලීසියට කර ඇති සැකකටයුතු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.
මෙම පැමිණිල්ල පොලීසියට ලැබී ඇත්තේ පසුගිය 05 වෙනිදා රාත්‍රී කාලයේදීය.
පල්ලෙබැද්දේ පදිංචිකරුවෙක් වන ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිල්කරමින් සඳහන්කර ඇත්තේ තමා සිය මෝටර් රථයෙන් ගමන්කරමින් සිටියදී හිගුරේ ආර බෝධිරාජ පාසල අසල දී ශරීර අවශ්‍යතාවක් සඳහා මෝටර් රථය නතරකර ඉන් බැස සිටියදී එම ස්ථානයට පැමිණි නාදුනන පුද්ගලයෙක් විසින් මුහුණට මිරිස් කුඩු ගසා මෝටර් රථය තුළ තිබුණු මැණික් සහ මුදල් කොල්ලකා පළාගිය බවය.
මෙම ව්‍යාපාරිකයා පවසන්නේ මැණීක් ගල් 11ක් තිබුණු බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 60ක් වන බවත්ය.
මෙම ව්‍යාපාරිකයා මැණික් ගල් සහ මුදල් රැගෙන ගමන්කරන බව සහා එම ස්ථානයේ වාහනය නවතන බව පිටස්තර කිසිවෙක් දැන සිටීමට ඉඩක් නොමැති බැවින් සහ මෙවැනි සිදුවීමක් වන්නේ නම් එය සංවිධානාත්මකව සිදුවිය යුතු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. බැලූ බැල්මට මෙම පැමිණිල්ල ගැන ගැටළුවක් ඇති බවද එම නිලධාරියා කීය.
මේ සම්බන්ධයෙන් පොලීසිය ව්‍යාපාරිකයාගේ බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ සැමියා නිවසින් පිටතට ගියේ කොත්තුවක් රැගෙන ඒමට යැයි කියා බවය. කොත්තුවක් රැගෙන ඒමට මැණික් ගල් සහ ලක්ෂ 06ක් වැනි මුදලක් රැගෙන ගමන් කරයිදැයි ඇත්තේ ගැටළුවක් බවත් පොලීසිය කියයි.
මෙම පැමිණිල්ලේ ඇත්ත නැත්ත ගැන මුලින්ම තහවුරුකර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.