fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන මාසයේ සිට අධ්‍යාපන පද්ධතියම උඩුයටිකුරු වෙයි

    ලබන මාසයේ සිට අධ්‍යාපන පද්ධතියම උඩුයටිකුරු වෙයි

    මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    මේ බව අමාත්‍යවරයා සඳහන් කළේ 2018-2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා පුහුණුව නිම කළ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයේ 3-1 (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම වෙනුවෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

    අධ්‍යාපන පරිපාලනයේ සිදුකිරීමට අපේක්ෂිත වෙනස්කම් සමග දැනට පවත්නා පාසල් වර්ගීකරණය වෙනස් වේ.

    ඒ අනුව ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් 10-13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ග කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීම, ගුරු ස්ථාන මාරු සිදුකිරීම ඇතුළු පාසල් පද්ධතියේ පරිපාලන තීන්දු තීරණ ගැනීමට මෙම වර්ගීකරණය අනුව වඩාත් පහසු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    කලක් තිස්සේ අධ්‍යාපන පද්ධතියෙහි පීලි පැන තිබූ තැන් නිවැරදි කරමින් එක් පොදු ගමන් මගකට යොමු කිරීම මෙහි අරමුණ බව ඔහු අවධාරණය කළේය.

    එමෙන්ම පාසල් සිසුන්ට පෝෂදායී ආහාර වේලක් ලබා දීමේ අරමුණින් 1-5ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් ආහාර වේලක් පාසලේදී ලබාදීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාවට නංවා ඇති බවත් එම කාර්ය සාර්ථක කරගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඉගැන්වීමට අමතරව දරුවන් සම්බන්ධයෙන් වගකීම්සහගතව කටයුතු කිරීමට සියලු‍ ගුරුවරුන්ට සිදුවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මෙවර ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද ඩිප්ලෝමාධාරින් 322 කට ගුරු පත්වීම් ලබා දෙන ලද අතර, මෙම ඩිප්ලෝමාධාරින් අවසන් විභාගයේ දී ලැබූ කුසලතා අනු පිළිවෙළ සහ සේවා අවශ්‍යතාව පදනම් කරගනිමින් ජාතික සහ පළාත් පාසල් වෙත ඔවුන් ස්ථානගත කර ඇති අතර ජාතික පාසල් සඳහා බඳවා ගනු ලැබූ ඩිප්ලෝමාධාරින් 303ක් සඳහා මෙහිදී පත්වීම් පිරිනැමිණි.සෙසු ඩිප්ලෝමාධාරීන් පළාත් මට්ටමින් පාසල් සඳහා බදවා ගැනීමට කටයුතු කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.