fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"පොළොන්නරුවෙන් ස්මාට් කෘෂිකර්මාන්තයක් බිහිකිරීම අපේ ඉලක්කයයි"

    “පොළොන්නරුවෙන් ස්මාට් කෘෂිකර්මාන්තයක් බිහිකිරීම අපේ ඉලක්කයයි”

    පොළොන්නරුවේ අනාගතයට, ස්මාට් වැඩ්ඩන් සමඟ ස්මාට් කෘෂිකර්මාන්තයක් බිහිකිරීම ඉලක්කය බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    “අපිට තියෙන්නේ මේ කෘෂිකාර්මික පොළොන්නරුවේ අනාගතය ඩිජිටල් ලෝකයට යනකොට ස්මාට් පොළොන්නරුවක් කරන්න. ස්මාට් වැඩ්ඩො සමග ස්මාට් කෘෂිකර්මාන්තයක් මේ පොළොන්නරුවෙන් බිහි කරන්න. ඒක තමයි අපේ අරමුණ, ඒක තමයි අපේ ඉලක්කය. ඉතිහාසයේ හැමදාම මේ වගේ අවස්ථා හැමදාම හම්බවෙන්නේ නෑ.” අමාත්‍යවරයා එසේ සඳහන් කළේ ‘ජයගමු ශ්‍රී ලංකා – පොළොන්නරුවට ස්මාට් හෙටක්’ වැඩසටහන පසුගිය සති අන්තයේ පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පැවති අවස්ථාවේදීය.

    ‘ජයගමු ශ්‍රී ලංකා – පොළොන්නරුවට ස්මාට් හෙටක්’ මීළඟ වැඩසටහන මාතලේ මාර්තු 22 සහ 23 මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

    රට සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ප්‍රමුඛව දායකත්වය සපයන දිස්ත්‍රික්කයක් හැටියට හඳුනාගන්නා පොළොන්නරු දිස්ත්‍රික්කය තුළද වෙසෙන වෘත්තීය අවස්ථා සඳහා උනන්දුවක් දක්වන තරුණ පිරිස්, පාසල් සිසුන්, විදේශගත රැකියා ශ්‍රමිකයන්, වෘත්තීයවේදීන් ගණනාවක් මෙම දෙදින වැඩසටහනට සහභාගි වූහ.

    ‘ජයගමු ශ්‍රී ලංකා ස්මාට් යූත් ක්ලබ්’ අදියර අමතමින් අමාත්‍යවරයා විශේෂයෙන් එහිදී සඳහන් කළේ පොළොන්නරුව, ගොවි ජනපද ව්‍යාපාර හැදෙන සමයේදී විරෝධාකල්ප දක්වන පිරිස් අද වාගේම එදාද මෙරට සිටි බවය.

    ඒවා නොතකා කටයුතු කිරීමෙන් රටට සහල් නිෂ්පාදනයෙන් දායකත්වය දෙන ප්‍රමුඛ දිස්ත්‍රික්කයක් වීමට පොළොන්නරුව දිස්ත්‍රික්කය වර්තමානයේ සමත් වී තිබෙන බවත් හෙතෙම කීය.

    ‘ජයගමු ශ්‍රී ලංකා’ පොළොන්නරුව පැවති වැඩසටහන පැවති දින දෙකෙහිදිම විදෙස් රැකියා අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙන විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයද සිදු විය.

    එහිදී විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරීම්ද සිදු කෙරෙන අතර තරුණ ප්‍රජාව සවිබල ගැන්වෙන උපදෙස් ලබා දීම, ජනාධිපති අරමුදලේ අනුග්‍රහයෙන් දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් පන්සියයක් සඳහා වෘත්තීය පුහුණුව ලබාදෙන අවස්ථා සකසා දීමද සිදු කෙරිණි.

    ඔවුන්ට එමගින විදේශ මෙන්ම දේශීයවද රැකියා අවස්ථා සපුරාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    මෙරට අවිධිමත් අංශයේ රැකියා කරනු ලබන සියලු දෙනාගේ ශ්‍රමයට ගරුත්වයක් සහ ආරක්ෂාවක් ලබා දීම පිණිස ක්‍රියාත්මක වන ‘ගරුසරු’ වැඩසටහනින් සමස්ත ශ්‍රම බලකායට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අපේක්ෂාව වේ. අවිධිමත් අංශයේ රැකියාවල නියුක්ත පිරිස් සඳහා සිය කුසලතා සහතික කරගැනීමට අවශ්‍ය සහතික ලබා ගැනීමට ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේදී පහසුකම් සලසා දී තිබිණි.

    ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන තුළ පවතින ‘ගරුසරු’ වැඩසටහනෙන් සමස්ත ශ්‍රම බලකායට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කෙරේ.

    පොළොන්නරුව වැඩසටහනේදී අවිධිමත් අංශයේ රැකියාවල නිරත පිරිසටද තම කුසලතාව, හැකියාව සහතික කරගැනීම සඳහා අවශ්‍ය සහතික ලබා ගැනීමට පහසුකම් එහිදී සපයා තිබිණි. එම සහතික කිරීම් මගින් එම ශ්‍රමිකයින්ට දේශීය සහ විදේශීය රැකියා අවස්ථා සොයාගැනීමටත් සිය රැකියාව යනු වෘත්තීමය මුහුණුවරක් ඇති වෘත්තීයක් බවට සහතික කිරීමත් එහිදී සිදු කෙරිණි.

    ‘ජයගමු ශ්‍රී ලංකා’ අනුරාධපුරයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව වැල්ලවාය, කෑගල්ල, මහනුවර සහ කුරුණෑගල, පොළොන්නරුව නගරවල මේ වන විට වැඩසටහන් පැවැත්විණි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.