ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවාවන් තවත් මාස 6ක කාලයක් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව තවත් මාස 6ක කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවාවන් පවත්වාගෙන යාමට අමෙරිකානු ඩොලර් මිලියන 60ත් 70ත් අතර ප්‍රමාණයක් මුදල් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමට පවතින ශේෂපත්රයේ ඇති ණය ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 510 ක හිඟ ණයබර රජයට බාරගැනීමේ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් රජය විසින් බාරගත් මෙම ණය මුදල ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයේදී ලැබෙන මුදලින් භාණ්ඩාගාරයට නැවත පියවිය යුතු බවට වන කොන්දේසිය මත මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ශ්‍රීලන්කන් ගුවන්සේවයේ සේවය කරන සේවක පිරිසගේ රැකිරක්ෂා සුරක්ෂිත කරමින් ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන තෙක් මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය මෙම තීන්දු ගත් බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
තව ද, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දින 45 කින් ඉදිරියට ගෙන ඒමට ටෙන්ඩර මණ්ඩලය තීරණය කර ඇැතැයි ද අමාත්‍යවරයා කිය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලික ආයෝජකයෙක්ට පැවරීම සදඟා ලංසු කැඳවීම අද අවසන් කිරීමට නියමිතව තිබුණි.
ඒ සඳහා උපදෙස් දෙන අයිඑස්සී ආයතනය ලංසු භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කරන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම දීර්ඝ කිරීම කළ බවත් අමාත්‍යවරයා කීය.