fbpx
තවත්
    මුල් පිටුවමුල් පිටුවවෙසක් පුන් පොහෝ දිනය අදයි

    වෙසක් පුන් පොහෝ දිනය අදයි

    සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් බැති සිතින් සමරන සම්බුදු තෙමගුල සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය අදයි. මතුවූ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නිවසේ සිට බොදු ජනතාවට එය මෙවර ද සැමරීමට සිදුවී ඇත්තේ නිවස තුළ සිටිමින් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමිනි. වෙනදා මෙන් විහාරස්ථාන වෙත යාම, වෙසක් තොරණ්, කූඩු තරග, වෙසක් සැරසිලි නැරඹීමට හෝ නිවසින් පිටත යාම වසංගතයක් විසින් මෙවර ද නවතා දමා ඇත. වසංගතයකට මුහුණ දී සිටින මෙවන් සමයක වුවුද බුදුන් වහන්සේ එදා දේශනා කළ බුද්ධ වචනය අදටත් මනා සේ ගැළපේ. දුකින් අත්මිදීම උදෙසා උන්වහන්සේ දේශනා කළ දෑ වඩාත් උචිතව ඇත්තේ වර්තමානයට ය.

    බෞද්ධ ජනතාවගේ ප්‍රමුඛතම බොදු උත්සවය ලෙස සලකනු ලබන්නේ වෙසක් පුන් පොහොය දිනයයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම, පරිනිර්වාණය යන අවස්ථා ත්‍රිත්වය සිදුවූයේ අද වැනි පුන් පොහෝ දිනයන්හිදීය.

    එමෙන්ම කිඹුල්වත් නුවරදී ශාක්‍යයන් ඉදිරියේ යමාමහ පෙළහර පෑම, බුදුන් වහන්සේ තුනවැනි වරට ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම, ආනන්ද හිමියන් පිරිනිවන් පෑම , සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම, බොහෝ සිංහල බෞද්ධ රජවරු සිය අභිෂේක මංගල්‍ය සිදු කිරීම ආදී කරුණු ද සිදුවූයේ අද වැනි වෙසක් පුන් පොහොය දිනවලදී ය.

    මෙවර වෙසක් උත්සවය නාගදීප රජමහා විහාරය කේන්ද්‍රකොටගෙන පැවැත්වීමට නියමිතව තිබුණි.ඒ සදහා වෙන් කර තිබූ රුපියල් මිලියන 100කට අධික එම මුදල සමාජ සත්කාර සහ සංවර්ධනයට යෙදීමට පියවර ගෙන ඇත. උතුරු පළාතේ සියලුම විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් ඉන් මිලියන 38ක් වෙන් කර තිබේ.

    අදට යෙදී ඇති වෙසක් පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාර සිරකරුවන් 240 දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර තිබේ.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ, දිවයිනේ සියලු බන්ධනාගාර වලින් හඳුනාගත් සිරකරුවන් පිරිසක් එලෙස නිදහස් කරන බවය. ඒ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් අද(26) නිදහස් වන බව ඔහු ප්‍රකාශ කළේ ය.

    මේ අතර වෙසක් පුන් පොහොය දිනය යෙදී ඇති අද දින මෙරට ජනතාවට ඡායා චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට හැකි වීම ද විශේෂත්වයකි. මෙරට වේලාවෙන් පස්වරු 7.19 පමණ මෙම ඡයා චන්ද්‍රග්‍රහණය දැකගත හැකි වේ.

    මෙම චන්ද්‍රග්‍රහණයේ පුර්ණ කොටස සහ අර්ධ කොටස මෙරටට දිස්නොවන අතර වන්ද්‍රග්‍රහණයේ අවසන් මිනිත්තු කිහිපය ඡායාවක ස්වරූපයෙන් දැක බලාගැනීමට හැකියාව පවතින බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

    මෙම චන්ද්‍රග්‍රහණය පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, උතුරු අමෙරිකාව යන රටවලට දිස්වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පැවසීය.

    මේ අතර ඉතිහාසයේ ප්‍රථමවරට රූපවාහිනී තිරයක් ඔස්සේ ප්‍රදර්ශනය වන වෙසක් තොරණ, චරණ TV නාලිකාව ඔස්සේ අද (26) සහ හෙට දින රත්‍රී 7.00 සිට ප්‍රදර්ශනය කෙරේ. පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන “දද්දර ජාතකය“ තේමාකොට ගනිමින් රචිත මෙම වෙසක් තොරණ, රූප රාමු 09කින් සමන්විත ය. සුපුරුදු වෙසක් තොරණ ආකෘතියෙන්ම නිර්මාණය කර ඇති මෙම තොරණේ කතා වස්තුව විරිඳු සහ දෙබස් කථනය ඔස්සේ සවිස්තරාත්මකව සහ විචිත්‍රවත්ව ඉදිරිපත් කරනු ලබයි.

    කොවිඩ්- 19 වසංගතය හේතුවෙන් බෞද්ධ ජනතාවට වෙසක් සැමරීම සීමාවී ඇති බැවින්, වෙසක් තොරණ නැරඹීමෙන් ලබන්නාවූ බුද්ධාලම්භන ප්‍රීතිය, චරණ TV වෙසක් තොරණ නැරඹීමෙන් නිවසේ සිටම එලෙසින්ම ලැබෙනු ඇත.

    PEOTV නාලිකා අංක 05, PEOTVGO සහ චරණ TV Facebook පිටුව ඔස්සේ චරණ TV ඉදිරිපත් කරන දද්දර ජාතක කතාවස්තුව රැගත් තොරණ වෙසක් පුන් පොහෝදා රාත්‍රී 7.00 සිට සජීවීව නැරඹිය හැක.

    මෙවර නිවසේ සිට සමරන වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් සැරසිලි නව්‍ය හා දේශීය මුහුණුවරකට හඳුන්වාදෙමින් බතික් වෙසක් කූඩුවක් නිර්මාණය කිරීමට අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකට අනුව ජාතික මෝස්තර මධ්‍යස්ථානය නිමවා ඇති පළමු “බතික් වෙසක් කූඩුව” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම පසු ගිය (21) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.