fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලක්ෂ්මන් යාපා දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරයි

    ලක්ෂ්මන් යාපා දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරයි

    දකුණු පළාතේ 12 වැනි ආණ්ඩුකාරවරයා ලෙස මෙරට දේශපාලනයේ කෘතහස්ත දේශපාලඥයකු වූ හිටපු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

    එලෙස දකුණු පළාතේ නව ආණ්ඩුකාරවයා ලෙස පත් කෙරුණු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීම ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී හෙට(03) සිදු කෙරේ.

    පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරමින් පැවැති පළමු මැතිවරණයෙන් ම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ ඒ මහතා පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ දකුණු පළාතේම ආණ්ඩුකාරවරයා ලෙස පත් වන පළමු තැනැත්තා ලෙසට ද ඉතිහාසයට එක්ව තිබේ.

    ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, 1982 වසරේ දී ක්‍රියාකාරී දේශපාලනය හා සම්බන්ධ වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා බැලට් එක වෙනුවට බුලට් එක පෙරමුණ ගත් දැඩි භීෂණය පැවැති සමයේ පැවැති පළාත් සභා මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දකුණු පළාත් සභාවට ඉදිරිපත් විය. විවිධ තර්ජන ගර්ජන එල්ල වුවද ඊට නොබියව මුහුණ දෙමින් මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා 1988 පළාත් සභා මැතිවරණයේ දී විශිෂ්ට ලෙස ජයගැනීමට සමත්විය. එතැන් සිට මාතර දිස්ත්‍රික්කයට පමණක් නොව දකුණු පළාත වෙනුවෙන් ජනතා සේවයේ යෙදෙමින් කෙටි කලක් ඇතුළත ජනතාව අතර කීර්තිමත්, සුපිරිසිදු දේශපාලඥයෙකු ලෙස නමක් දිනා ගැනීමට සමත්විය. ඉන් අනතුරුව 1993 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේ දී නැවතත් දකුණු පළාත් සභාවට ඉදිරිපත් වෙමින් එම මැතිවරණයෙන් ද විශිෂ්ට ලෙස ජගත්තේය.

    1994 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට පළමු වතාවට ඉදිරිපත් වෙමින් එම මැතිවරණයෙන් ද ජයග්‍රහණය කරන ඒ මහතා ඉන් අනතුරුව පැවැති මැතිවරණද ජයග්‍රහණය කරමින් 2002 වසරේ දී එවකට පැවැති ආණ්ඩුවේ විදේශ රැකියා සුබ සාධන ඇමැතිවරයා ලෙස පත්විය. සිය ඇමැති ධූරය තුළින් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉමහත් සේවාවක් කරමින් ජනතා ප්‍රසාදය දිනාගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2005 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ද ජයග්‍රහණය කරමින් 2007 වසරේ දී ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස පත්විය. තිස් අවුරුද්දක් පුරා දිව ගිය යුද්ධයේ තීරණාත්මක අවධියක ජනමාධ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත් වෙමින් ත්‍රස්තවාදීන්ට එරෙහිව ආණ්ඩුවේ මතය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ගෙන යමින් යුද ජයග්‍රහණය වෙනුවෙන් මතවාදී ජයග්‍රහණයක් ලබා දෙන්නට සමත්විය.

    නැවතත් 2010 වසරේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධූරයෙන්, 2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන කැබිනට් ඇමැති ධූරයෙන්, සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති ධූරයෙන් සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ධූරය වගකීම් රැසක් දැරීය. ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ මෙරට ආයෝජන අවස්ථා ඇති කරමින් විදෙස් ආයෝජනයන් රැසක් ගෙන එ්මට සමත්විය. යළි 2015 වසරේ මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙසත්, 2018 වසරේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙසත්, 2020 වසරේ නැවතත් ජනමාධ්‍ය ඇමැති ධූරයට පත්විය.ජනමාධ්‍ය ධූරය හෙබ වූ කාලයේ සියලු ජනමාධ්‍යවේදීන් සමඟ ඉතා සුහඳව හා කුලුපගුව කටයුතු කරමින් ජනමාධ්‍යවේදීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාර්යයක් ඉඩු කළේය. ඉන් අනතුරුව පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වන ඒ මහතා එහි දි පාරාජයට පත් වුවද ලංකා ඉතිහාසයේ විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් පරාජයට පත් වූ එකම මන්ත්‍රීවරයා ද වේ. අවසන් වරට ඉදිරිපත් වූ මහ මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අවස්ථාවේ බොහෝ දෙනෙකු තම තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් කැප වෙද්දි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තමන්ගේ ජයග්‍රහණයට වඩා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවිය. එහිදී එතුමන්ට විවධ පාර්ශවයන් බලපෑම් එල්ල කරමින් අභූත චෝදනා එල්ල කරද්දී ද, ඊට මුහුණ දෙමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙමින් ඡන්ද 71106 ක් වැනි විශාල ඡන්ද සංඛ්‍යාවක් ගත්තද පරාජයට පත් වූයේය. අති විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් පරාජයට පත් වුණද සිය දේශපාලන ගමන ඉදිරියට ගෙන යමින් ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ට වඩා සිය දිස්ත්‍රික්කයට සහ ජනතාවට සේවාවක් කිරීමට ඔහු අද කටයුතු කරමින් සිටී.

    දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්වන තෙක් වසරකට ආසන්න කාලයක් එතුමන් වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස සුවිශේෂී කාර්ය භාර්යක් ඉටු කළේය. වයඹ පළාතේ ආගමික නායකයන්, නිලධාරීන් හා ජනතාව සමඟ සුහදව කටයුතු කරමින් එම පළාතේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කිරීමට සමත්විය. වයඹ පළාතට ආවේනික ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් ලබාදෙමින් ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවීමට ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විශාල සේවාවක් කළේය.එම නිසාම එතුමන් එම පළාතේ සියලු දෙනාගේම ආදරය හා ගෞරවයට ප්‍රාප්ත විය. එතුමා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්වීම ලබන බව සැලවීමත් සමඟ වයඹ පළාතේ මහා සංඝරත්නය, දේශපාලන අධිකාරිය හා පළාතේ ජනතාව දැඩි ලෙස විරෝධය පල කලේය. එමෙන්ම දකු‍ණු පළාතේ දේශපාලන අධිකාරියේ හා ජනතාවගේ දැඩි ඉල්ලීමක් එතුමා දකුණු පළාත් ආණ්ඩුකාර වශයෙන් පත්කර ගැනීමට තිබුණි.

    මාතර දේශපාලනයේ නොකැළැල් චරිතයක් වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, බොහෝ දෙනා ඇමතුවේ “අපේ ලක්ෂ්මන් මහත්මයා” යන ලෙන්ගතු ආමන්ත්‍රණයෙන්ය. ජනතාවගේ ඕනෑම ප්‍රශ්නයකට නිහතමානීව ඇහුම්කම් දෙමින් කුමන අයුරින් හෝ ඊට යම් උත්තරයක් ලබා දීමට එතුමන්ට හැකියාව තිබුණේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.