පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
එම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසිනි. ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ පසුගිය 13 වැනිදා ය.
ලබන 20 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු වාරයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතී.
එසේ ඉදිරිපත් කරනු ලබන දිනයේ සිට දෙසතියක කාලයක් තුළ ඕනෑම අයෙකුට මෙම කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳව අධිකරණය ඉදිරියේ අභියෝග කළ හැකිය.
ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණායකයන් ලැබුණු පසුව මෙය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට අවස්ථාව හිමිවේ.
ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා අද දින (15) වැඩිදුරටත් මෙසේ ද කීය.
“13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලට ලබාදුන් බලතලවලින් වඩාත් භයානකම බලතලය වන්නේ පොලිස් බලතලයි. එම නිසා පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කිරීම වසර 37ක් පුරා ජාතිකවාදීන් තුළ පැවැති දිගුකාලීන සිහිනයක්. ඒ හීනය සැබෑ කරන්න ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත්කිරීමේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න අපට හැකියාව ලැබුණා.
අනාගතයේදී බෙදුම්වාදී යුද්ධයක් ඇති වුවහොත් එය ඇතිවන්නේ උතුරු පළාත් පොලිසිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතරයි. එවිට මේ දෙකම නිල හමුදාවන්. එවිට ශ්‍රී ලංකාවට එරෙහිව බෙදුම්වාදීන්ට සහාය දක්වන රටවලට කිසිම පැකිලීමකින් තොරව එළිපිටම එම බෙදුම්වාදී සංවිධානයට එහෙම නැත්නම් උතුරු පොලිස් හමුදාවට ආධාර ලබා දීමට හැකියාව ලැබෙනවා.
බෙදුම්වාදීන් ශක්තිමත් වීමක් මෙම පොලිස් බලතල හරහා සිදුවෙනවා. මෙම විධිවිධාන නිසා පොලිසිය සතු බලතලවලින් 90%ක් පළාත් පොලිසියට යනවා. මධ්‍යම ආණ්ඩුවේ පොලිසියට විදේශ විනිමය සම්බන්ධ, මධ්‍යමආණ්ඩුවේ ආරක්ෂාව සම්බන්ධ සීමිත වැරදි ප්‍රමාණයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම විතරයි ඉතිරිවෙන්නේ.
පළාත් සභා බල සීමාවක කටයුතු කරද්දී මධ්‍යම ආණ්ඩුවේ පොලිස් නිලධාරියෙකුට සිය නිල ඇඳුමින් කටයුතු කරන්නත් බැහැ. ඒ වගේම මධ්‍යම ආණ්ඩුවේ පොලිස් නිලධාරියාට පළාතේ බල සීමාව තුළ ඉන්නකොට එම පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ කටයුතු කරන්න සිදුවෙනවා.
ඒ වගේම මින් පොලිසිය දේශපාලනීකරණය වෙනවා. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලට පොලිස් බලතල ලබාදීමෙන් අනතුරුව ආපු 17 වන සංශෝධනය 19 වන සංශෝධනය 21 වන සංශෝධනය වැනි ව්‍යවස්ථා සංශෝධන හරහා පොලිසිය නිර්දේශපාලනීකරණයට ලක් කළා. නමුත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉතා පැහැදිලිව කියනවා පළාත භාර පොලිස්පතිවරයා ප්‍රධාන අමාත්‍යවරයාට වගකිව යුතු අතර ඔහුගේ පාලනය යටතේ සිටිය යුතුය කියලා. පළාත් බද පොලිස් කොමිසමක් තියෙනවා. නමුත් එහි සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකුම මහ ඇමතිවරයාට අවශ්‍ය ආකාරයටයි පත්වෙන්නේ. ඒ නිසා පොලිසිය නිර්දේශපාලනීකරණය කිරීමට පසුගිය වසර තිස්පහක් පුරා ගත් උත්සාහයන් සියල්ලම පළාත් සභාවලට වලට පොලිස් බලතල ලබාදීම හරහා නිරර්ථක වෙනවා. ඒනිසා ජාතික ආරක්ෂාව සහ යහපාලනය පැත්තෙන් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාන සංශෝධනය යෝධ පියවරක් ලෙසින් අප දකිනවා.”
මීට අදාළ ගැසට් පත්‍රය පහතතින් දැක්වේ.
456-2024_S