2023 වසරේ පාරිභෝගික තැන්පතු සඳහා පොලිය වශයෙන් රුපියල් කෝටි 112ක් විදුලි පාරිභෝගිකයින් වෙත ගෙවා ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
අලුතින් විදුලි සැපයීමක් ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොලියක් ගෙවීමට සූදානම් බවට ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් එදින කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.
මෙම පෙත්සම කැඳවනු ලැබුවේ එස්. තුරෙයිරාජා, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.
එම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නව විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් වෙනුවෙන් 2023 වසර සඳහා 11.67%ක වාර්ෂික පොලියක් ගෙවීමට සූදානම් බව දැනුම් දී තිබුණි.
එම පොලිය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියේය.
මෙම ගෙවීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයාබැලීම සඳහා අදාළ පෙත්සම යළි ලබන මාර්තු මස 21 වන දා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) හා ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකො) විදුලි පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා ආරක්ෂිත තැන්පතු සදහා පොලී ගෙවීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබුණේ 2017 වසරේදීය.
2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 28 වන වගන්තියට අනුව විදුලි පාරිභෝගිකයින්ට හිමිවන වරප්‍රසාදයක් ක්‍රියාවට නැගීම සදහා මෙම නිර්දේශ සකසා තිබුණි.
එම වගන්තියට අනුව පාරිභෝගික ආරක්ෂිත තැන්පතු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරන පොලී අනුපාතිකයක් යටතේ විදුලිබල සේවා සැපයුම් ආයතන (ලංවිම හා ලෙකො) මෙසේ පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා ආරක්ෂිත තැන්පතු සදහා පොලී ගෙවිය යුතු ය.
ඒ අනුව සාමාන්‍ය විදුලි පාරිභෝගිකයින් (ගෘහස්ත සහ මාසික විදුලි ඉල්ලුම දහසු වෝල්ත ඇම්පියර් 42කට වඩා අඩු පාරිභෝගිකයින්) සදහා පොලිය වාර්ෂිකව ගණනය කර එළඹෙන වර්ෂයේ ජනවාරි මාසයේදී පාරිභෝගික බිල්පතෙහි එම පොලී ආදායම ගැලපිය යුතු වේ. විශාල පරිමාණයේ විදුලි පාරිභෝගිකයින් (මාසික විදුලි ඉල්ලුම් දහසු වෝල්ත ඇම්පියර් 42 ට වැඩි පාරිභෝගිකියින්) ගේ තැන්පතු සදහා මාසිකව පොලිය ගණනය කර එළඹෙන මාසයේ බිල්පතට බැර කල යුතු වේ.
ආරක්ෂිත තැන්පතු මුදල සංශෝධනයක් සිදු වු විටකදී එය සාමාන්‍ය පාරිභෝගිකයන් සදහා වාර්ෂිකවද මහා පරිමාණ පාරිභෝගිකයින් සදහා මාසිකවද යාවත්කාලීන කළ යුතු ය.
විදුලි පාරිභෝගිකයා විසින් සිය විදුලි සම්බන්ධතාව හා ගිණුම අහෝසි කරන විටකදී එම දිනය දක්වා වු පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල අඩුකර ඉතිරි වන ආරක්ෂිත තැන්පතුව සදහා පොලිය ද සමග සම්පුර්ණ තැන්පතු මුදල මසක් ඇතුළත ගෙවිය යුතු වේ.
ඒ ඒ වර්ෂ සදහා අදාල වන පොලී අනුපාතය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සෑම වර්ෂයකද ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන බවට එවකට නිවේදනය කර තිබුණි.
ආරක්ෂිත තැන්පතු සදහා පොලී ගෙවීමේ දී පාරිභෝගිකයින් යම් ගැටළුවලට මුහුණ පාන්නේ නම් ඒ පිළිබද පැමිණිලි සිය සේවා දායක ආයතනය (ලංවිම හෝ ලෙකො) වෙත මුලින් ම ඉදිරිපත් කළ යුතු ය. එම පැමිණිලි සදහා නිශ්චිත කාලයකදී සෑහීමකට පත් විය හැකි විසදුමක් නොලැබුණහොත් එවැනි ආරාවුල් විසදීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි වේ.
විදුලි පාරිභෝගිකයින්ගේ ආරක්ෂිත තැන්පතු සදහා පොලී ගෙවීම පැහැර හැරීම ශ්‍රී ලංකා විදුලිබල පනතෙහි අදාල වගන්තිය උල්ලංඝණය කිරීමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දේ.