fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හමුදා උත්තමාචාර -වෙඩිමුර -රථපෙළපාලි නැතුව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ඇරඹෙයි

    හමුදා උත්තමාචාර -වෙඩිමුර -රථපෙළපාලි නැතුව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ඇරඹෙයි

    නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් හෙට (පෙබ. 07) ආරම්භ වන අතර මෙවර ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පැවසීය.

    සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පෙ.ව. 10.30 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

    නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇත.

    හෙට දින පෙ.ව. 09.45 වන විට ආරාධිත අමුත්තන් හට අසුන් ගන්නා ලෙස දන්වා ඇති බවත් ඒ මහතා පැවසීය.

    කථානායක ගමහින්ද යාපා අබේවර්ධන මහතා සහ එම මැතිණියගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැමිණීම සිදු වන අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම ආර්යාවගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ ඉන් අනතුරුව‍ය.

    එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීමට නියමිතය.

    ඉන් අනතුරුව වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබයි.

    එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තුවට ආශිර්වාද එක් කිරීමට නියමිතය.

    අනතුරුව පැළදුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා පෙ.ව. 10.25 පමණ වන තෙක් එහි රැදී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා සහ මහලේකම්වරු යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදු වේ.

    සභාගර්භයට ඇතුළු වීමේදී නියෝජ්‍ය වේත්‍රධාරීවරයා විසින් “ගරු ජනාධිපතිතුමා” යනුවෙන් හඩනගා නිවේදනය කරන අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නැගී සිට ආචාරකිරීම සම්ප්‍රදායානුකූලව සිදුවේ.

    සභාගර්භයට පිවිසෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවේ.

    අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, 2024.02.08 වැනිදා පෙ.ව. 9.30 දක්වා සභාව කල් තැබීමට නියමිතය. ඉන්පසු රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර ඇත.

    නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අගවිනිසුරුතුමා, නීතිපතිතුමා, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එසේම මෙම උත්සවයට විද්‍යුත් ක්‍රමයට ආරාධනා පත්‍ර (E – Invitations) යොමුකොට ඇති බවද ඒ මහතා පැවසීය.

    හෙට දින නව සැසිවාරය උත්සවාකාරයෙන් ඇරඹීම වෙනුවෙන් අද දින පැවති පෙරහුරුව
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.