තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් අණ නොතකා ගිය බස් රියදුරු පොලීසියට පාට් දමලා

    පොලිස් අණ නොතකා ගිය බස් රියදුරු පොලීසියට පාට් දමලා

    අන්තරාදායක ලෙස මගී බස්රථයක් ධාවනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම්ව බස් රථය නවතන ලෙස සංඥා කරන විට පොලිස් අණ නොතකා ධාවනය කළ බස්රථ රියදුරෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පරුෂවචනයෙන් බැනවැදී සාපරාධි බලහක්කාරකම් පෑ බස්රථ රියදුරු, හිමිකරු ඇතුළු තිදෙනෙක් අනුරාධපුර පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් පසුගිය 03 වෙනිදා අනුරාධපුර පොතානේගම හන්දියේ රාත්‍රී රථවාහන රාජකාරියේ නිරතවසිටියදී අනුරාධපුර නව නගරය දෙස සිට පුත්තලම දෙසට අධික වේගයෙන් අන්තරාදායක ලෙස ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක් නතරකරන ලෙස සංඥාකර ඇත. එහිදී එම බස් රථය පොලිස් අණ නොතකා වේගයෙන් ඉදිරියට ධාවනය වී ඇති බව පොලීසිය කියයි.

    පොලිස් නිලධාරීන් එහිදී එම රථය පසුපස සිය යතුරුපැදියේ නැගී හඹාගොස් ඇත. බස් රථය අනුරාධපුර බස් නැවතුම්පොල ඉදිරිපිට නතරකළ විට පොලිස් නිලධාරීන් රියදුරු අසලට ගොස් ඔහුට කළ වරද තේරුම්කර දී රියදුරු බලපත්‍රය ලබාගෙන තිබේ. අනතුරුව අන්තරාදායක ලෙස ධාවනය සහ පොලිස් අණ නොතකා ධාවනය යන වරදවල් සම්බන්ධයෙන් රියදුරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් රියදුරු බලපත්‍රය පොලිස් භාරයේ තබාගෙන තාවකාලික රියදුරු බලපත්‍රයත් ලබාදීමට පියවර ගෙන ඇත.

    එම අවස්ථාවේදී රියදුරු බස් රථයෙන් බැස තවත් දෙදෙනෙක් සමඟ පොලිස් නිලධාරීන් වෙත පැමිණ රියදුරු බලපත්‍රය උදුරාගෙන පොලිස් නිලධාරීන්ට පරුෂ වචනවලින් බැන වැදී සාපරාධි බලහත්කාරකම් පා ඇත.

    මෙම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා අමතර පොලිස් නිලධාරීන් පිරිසක් එහි කැදවා රියදුරු ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයක නන්වා පිටත්කර යැවීමට පියවර ගෙන තිබේ.

    අත්අඩංගුවටගත් සැකකරුවන් අතර බස් රථයේ හිමිකරු බව කියන 24 හැවිරිදි වියේ පසුවන ගම්පහ නයිවල පදිංචිකරුවෙක්, ගිරිබාව වරාවැව පදිංචිකරුවෙක් වන 30 හැවිරිදි රියදුරා සහ, නයිවල සංඝබෝධි මාවතේ පදිංචිකරුවෙක් වන 24 හැවිරිදි වියේ පසුවන අයෙක් සිටින බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img