තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටින් පනින්න සූදානමින් සිටි ආවා කල්ලියේ නායකයා කොටුවෙයි

    රටින් පනින්න සූදානමින් සිටි ආවා කල්ලියේ නායකයා කොටුවෙයි

    පිටරටවල සිට ලැබෙන කොන්ත්‍රාත්වලට අනුව යාපනයේ ජනතාව භීතියට පත්කරමින් මැර ක්‍රියාවල නිරත ‘ආවා කල්ලියේ’ නායකයා රටින් පළායාමේ සූදානමින් ගල්කිස්ස සැඟවී සිටියදී පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

    යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ මල්ලාකම් නීලයම් බනෙයි පිිල්ලෙයාර් පාරේ පදිංචිකරුවෙක් වන ආවා කල්ලියේ වත්මන් නායකයා වන ප්‍රභාකරන් කෞසින් නොහොත් ප්‍රභා නැමැති මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස යශෝරාපුර පිහිටි දෙමහල් නිවසක උඩු මහලේ කුලීයට නවාතැන් ගෙන සිටියදීය.

    මෙම පුද්ගලයාව ආවා කල්ලිය තුළ හදුන්වනු ලබන සංකේත නාමය වන්නේ KOINSI THAMPA යැයි පොලිසිය සදහන් කළේය. ඔහුගේ සංකේත අංකය වන්නේ 001 බවද පැවසේ.

    මෙම පුද්ගලයා ගල්කිස්සේ රැදී සිටින බවට මධ්‍යම දූෂණ මර්දන බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව බුද්ධි අංශ නිලධාරීන් වන සැරයක් ජයලාල් (428) සහ සංජීව (91287) යන නිලධාරීන් සිදුකල අවේක්ෂණයකින් අනතුරුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි.

    වයස අවුරුදු 25ක් වන මෙම ආවා කල්ලියේ නායකයාට යාපනය තුළ සිදුකල පහරදීම්, ගිනි තැබීම්, පුද්ගලයින් කපා කොටා තුවාල කිරීම් වැනි අපරාධ සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු 02ක්ද, මලලාකම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 02ක්ද නිකුත්කර තිබී ඇත.

    තදින්ම අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින තැනැත්තෙක් වන මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 300ක් ද තිබී ඇත. ඒ හැරුණු කොට මෙම සැකකරු සතුව තිබී ආවා කල්ලියේ ලංඡනය සටහන්කළ රුපියල් 100 නෝට්ටුවක්ද හමුවී ඇත.

    මෙම පුද්ගලයා විසින් සිදුකර ඇති කපා කොටා ඝාතනය කිරීම්, මිනී මැරීමට තැත් කිරීම්, අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම, වාහනවලට පහරදී හානි කිරීම, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන් වාහනයක හප්පා ඝාතනය කිරීමට තැත් කිරීම, ආදී විවිධ අපරාධ සම්බන්ධයෙන් ඔහුව තෙලිප්පලේ, චුන්නාගම්, මානිප්පායි, යාපනය සහ කිලිනොච්චි යන පොලිස් ස්ථානවලට අවශ්‍යව සිටින සැකකරුවෙක් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි. මෙම පුද්ගලයා මෙම අපරාධවල නිරතව ඇත්තේ විදේශයන්ගෙන් ලැබෙන කොන්ත්‍රාත්වලට අනුව බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.

    මෙම සැකකරු සැගවී සිටි ගල්කිස්සේ නිවස ඔහු ආරක්ෂිත නිවස්නයක් ලෙස භාවිතාකර ඇති බවත් නිවෙස් හිමිකරු අවුරුදු 72ක් වයසැති සුමනාවතී නැමැති කාන්තාවක් බවත් පොලීසිය කියයි.

    මෙම නිවසේ ඔහු රැදී සිටින්නේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට බවත් මසකට රුපියල් 25,000ක කුලියක් ගෙවන බවත් අනාවරණය වී ඇත.

    වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව ගල්කිස්ස පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img