fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ෂම්මිගේ යෝජනාවෙන් ජේ ෂා යළිත් ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති පුටුවට

    ෂම්මිගේ යෝජනාවෙන් ජේ ෂා යළිත් ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති පුටුවට

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපතිවරයා ලෙස නැවතත් පත්කරගෙන තිබේ.

    ෂාගේ සේවා දිගුව දෙවන වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් යෝජනා කරන ලද්දේ බාලි හි පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී (ACC) ය.

    ෂම්මිගේ නාමයෝජනාව එහි සියලුම සාමාජිකයින් විසින් ඒකමතිකව අනුමත කරන ලදී. ෂා මෙම ධුරය සඳහා පත්වූයේ තුන්වැනි වරට ය.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට තරග කිරීම උදෙසා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරෙන් හා ඉන්දීය ක්‍රිකට් ලේකම් තනතුරෙන් ජේ ෂා මහතා ඉල්ලා අස්වීමට සූදානම් වන බවට මීිට පෙර පුවත් පළවි තිබුණි.

    ඔහු ප්‍රථම වරට එම තනතුරට තේරී පත් වූයේ 2021 වසරේදී ය.

    ආසියානු කුසලානය ආකර්ශනීය කේන්ද්‍රස්ථානය වූ සංවිධානයේ මෙහෙයුම් සාර්ථකව ඉටුකිරීම නිසා තෙවර වරටත් ඔහු පත්කරගත් බව විදෙස් වාර්තා පැවසීය.

    අද දින බාලි හිදී මෙම ධුරය පත්කර ගැනීම සඳහා සාකච්ඡා මේසයේ මාතෘකා කිහිපයක් කතාබහට ලක්ව තිබුණි.

    ෂා ACC හි සභාපතිවරයා ලෙස ගෙවූ පළමු අවස්ථා දෙකේදී ACC විසින් COVID-19 සමයේදී තීරණාත්මක කරුණු හසුරුවන ලදී.

    එසේ තිබියදීත් ආසියානු කුසලානය සහ U19 ආසියානු කුසලානය සාර්ථකව සංවිධානය කර ඇත.

    2023 පකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ පැවති ආසියානු කුසලානය සාකච්ඡාවට බඳුන් වූ තීරණාත්මක කාරණයක් වූ අතර තරඟාවලිය සාර්ථකව පැවැත්වීමට කිරීමට ෂා සමත් විය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා අනාවරණය කරමින් “ජේ ෂා මහත්මයාගේ කුඩේට මේ දූෂිත කල්ලිය ආවරණය වෙලා ඉන්නවා” යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වාර්තාවක්ද උපුටා දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලයට පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. ඒ පසුගිය නොවැම්බර් 08 වැනිදා ය.

    ෂම්මි සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට ක්‍රිකට් තහනම පැනවූයේ නොවැම්බර් 10 වැනිදා ය. ඒ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අනවශ්‍ය ලෙස දේශපාලන මැදිහත්වීම් ඇති බවට චෝදනාව මත ය.

    මෙරට ක්‍රිකට් තහනම සිදුවීමත් සමඟ එම තත්ත්වය තුළ රොෂාන් රණසිංහ මහතාගේ අමාත්‍ය ධුරය වහා ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

    කෙසේවෙතත් “ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරන කවුද මේ ජේ ෂා?” යනුවෙන් ප්‍රශ්න කරමින් එම කාලයේදී මෙරට තුළ ජේ ෂා දැඩි කතාබහට ලක්වූ චරිතයකි.

    කෙසේවෙතත් පසුව හරීන් පෙරේරා එම අමාත්‍ය ධුරයට පත්වූ අතර මෙරටට තිබූ ක්‍රිකට් තහනම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉවත් කරන ලද්දේ මීට දින 3කට පෙර ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.