තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තු සේවකයින් 3ක් අත්අඩංගුවට ගත් සිද්ධිය ගැන මහලේකම්වරියගෙන් ප්‍රකාශයක්

    පාර්ලිමේන්තු සේවකයින් 3ක් අත්අඩංගුවට ගත් සිද්ධිය ගැන මහලේකම්වරියගෙන් ප්‍රකාශයක්

    පාර්ලිමේන්තුවේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

    එම ප්‍රකාශය පහතින් දැක්වේ.

    “පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන් කිහිපදෙනෙකුට 2022 වසරේ හා ඊට පෙර හිරිහැරවූ බව කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තුවේ මහලේකම් ලෙස පත්වීමෙන් පසුව මා වෙත වාර්තා වූ අතර ඒ අනුව ගරු කථානායකවරයාගේ උපදෙස් යටතේ මේ සම්බන්ධ වැඩිදුර විමර්ශනය සදහා අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත්කෙරිණි.

    එම විමර්ශන කමිටු වාර්තාව පසුගියදා මා‍ වෙත ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීම සදහා එය ගරු නීතිපතිවරයා වෙත යොමු කරන ලදී. එකී වාර්තාව අධ්‍යයනය කරන ලද ගරු නීතිපතිතුමා සිද්ධිය සම්බන්ධයෙන් මුල් පැමිණිල්ලක් වාර්තා කිරීම අවශ්‍ය බවට උපදෙස් දෙන ලදී.

    මේ අනුව අදාළ වාර්තාව මා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකරන ලද විමර්ශන අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    එබැවින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මා විසින් පත්කරන ලද කමිටු වාර්තාව ගරු නීතිපතිතුමා වෙත යොමුකරනු ලදුව එතුමාගේ උපදෙස් අනුව පොලිස්පතිතුමා වෙත යොමුකර ඒ අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදුකළ විමර්ශන අනුව වේ.

    පාර්ලිමේන්තුව තුළ කුමන තරාතිරමේ අයකු විසින් සිදුකරනු ලබන හෝ මාගේ සේවා කාලයට පෙර හෝ සිදුකරනු ලැබ ඇති ඕනෑම නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් රටේ පවතින නීතිය අනුව කටයුතු කිරීමට මා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය කිසිසේත්ම පසුබට නොවන බවත්, ඒ සදහා ගරු කථානායකතුමාගේ මඟපෙන්වීම හා උපදෙස් නිරන්තරයෙන්ම අප වෙත ලැබෙන බවත් වැඩිදුරටත් සදහන් කරනු කැමැත්තෙමු.”

     

    සබැඳි පුවත්
    පාර්ලිමේන්තු සේවිකාවන් 2නෙකුට ලිංගික හිංසන කළ 3ක් අත්අඩංගුවට

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img