fbpx
තවත්
    මුල් පිටුවspecialඔබත් වීඩියෝ ගේම් ක්‍රීඩාකරනවාද? ප්‍රවේශමෙන්...

    ඔබත් වීඩියෝ ගේම් ක්‍රීඩාකරනවාද? ප්‍රවේශමෙන්…

    ලොව පුරා සිටින වීඩියෝ ක්‍රීඩා කරන්නන්, යථාතත්වයට පත්කළ නොහැකි ශ්‍රවණාබාධයක් හෝ කනෙහි ඝෝෂාව වැනි ආබාධ ඇතිවීමේ අහිතකර සෞඛ්‍ය ආබාධවලට ලක්වීමේ අවදානමක් ඇති විය හැකි බවට අනාවරණය වී තිබේ.

    මහජන සෞඛ්‍ය පිළිබඳ නවතම පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය, මේ සම්බන්ධයෙන් වහාම සියලුදෙනා දැනුවත් කළ යුතු බවට අවධාරණය කර සිටී.

    පර්යේෂණයේදී යොදාගත් ‍50,000 කට වැඩි පුද්ගලයින්ගේ අධ්‍යයනයන්හි වාර්තා වී ඇති පරිදි ඒ ඒ අය විසින් වීඩියෝ ගේම් භාවිතයේ දී ශබ්ද මට්ටම් බොහෝ විට ආරක්ෂිත සීමාවන් ආසන්නයේ හෝ එම මට්ටම ඉක්මවා යන බව පර්යේෂකයන් නිගමනය කර ඇත.

    මෙම ක්‍රීඩා වල ජනප්‍රියතාවය සැලකිල්ලට ගෙන, විය හැකි අවදානම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩි මහජන සෞඛ්‍ය ප්‍රයත්නයන් අවශ්‍ය බව එම සංවිධානය පෙන්වා දේ.

    සංගීතයට සවන්දීමේදී මේ වනවිට බෙහෙවින් භාවිත කරනු ලබන හෙඩ්ෆෝන් (Headphones), ඉයර්බඩ් (Earbuds) යනාදිය අනාරක්ෂිත ශබ්ද මට්ටම් භාවිත කරන සුලභ ප්‍රභවයන් ලෙස හඳුනාගෙන ඇත.

    කෙසේවෙතත් ශ්‍රවණාබාධ සඳහා ඊ-ක්‍රීඩා ඇතුළු වීඩියෝ ක්‍රීඩා වල බලපෑම කෙරෙහි සාපේක්ෂව අඩු අවධානයක් යොමු වී ඇති බව පර්යේෂකයෝ පවසති.

    ක්‍රීඩකයින් බොහෝ විට ඉහළ තීව්‍රතාවයකින් යුත් ශබ්ද මට්ටම්වල තබාගනිමින් ක්‍රීඩා කරන අතර දිනකට හෝ එක් වතාවකට පැය කිහිපයක් ක්‍රීඩා කරයි. මෙය ඉතාමත් අහිතකර තත්ත්වයකි.

    තවද 2022 වසරේ දී ලොව පුරා වීඩියෝ ගේම් ක්‍රීඩකයින් බිලියන 3කට වඩා සිටි බවට එක් පර්යේෂණ ඇස්තමේන්තුවකදී අනාවරණය වී ඇත.

    උතුරු ඇමරිකාව, යුරෝපය, අග්නිදිග ආසියාව, ආසියාව සහ ඕස්ට්‍රේලියාව යන මහාද්වීපවල රටවල් 9 කින් පුද්ගලයන් 53,833 ක් සම්බන්ධ කර ගනිමින් ලබාගත් කරුණු මෙම සමාලෝචනයට ඇතුළත් කර ඇත.

    වීඩියෝ ක්‍රීඩා ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයන හයක් වාර්තා කළේ යෞවනයන් අතර 20% සිට 68% දක්වා කොටසක් වීඩියෝ ගේම් ක්‍රීඩාකරන බවයි.

    දකුණු කොරියානු අධ්‍යයන දෙකකින් යෞවනයන්ගෙන් 60% ක් පමණ වීඩියෝ ගේම් ක්‍රීඩාකරන අයගේ ව්‍යාප්තියක් වාර්තා කර ඇත.

    අමෙරිකාවේ මිලියන 10 කට අධික ජනතාවක් වීඩියෝ හෝ පරිගණක ක්‍රීඩාවලින් ‘ඝෝෂාකාරී’ හෝ ‘ඉතා ඝෝෂාකාරී’ ශබ්ද මට්ටම්වලට නිරාවරණය වන බව එක් අධ්‍යයනයකින් වාර්තා විය.

    මේ අනුව වීඩියෝ ගේම් ක්‍රීඩාකරන්නන් අතර, ආරක්ෂිත සවන්දීම ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන අධ්‍යාපනයක් ඇතිකිරීමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    එමෙන්ම වීඩියෝ ගේම් ක්‍රීඩාවෙන් ඇති විය හැකි සියලු අවදානම් පිළිබඳ දැනුවත් කිරීම් වැනි මැදිහත්වීම්වලට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාවයක් ඇති බව එම සංවිධානය යෝජනා කර සිටි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.