හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ඇති පාසල්වල ප්‍රාථමික අංශයේ දරුවන්ට දිවා ආහාරය ලබාදීම වෙනුවෙන් සැපයුම්කරුවන්ට ලබාදුන් ද රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය ඒ සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් වරයෙක් සහ යුද හමුදාවේ දෙවන ලුතින්න් වරයෙක් පෙරේදා (18) අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයා රංගල කඳවුරේ සේවයේ නිරත හොරණ දොඹගොඩ පදිංචි 36 හැවිරිදි වියේ පසුවන්නෙකි.
යුද හමුදා දෙවන ලුතිනන් වරයා පනාගොඩ කඳවුරේ සේවයේ නිරත හිගුරක්ගොඩ රවුම් පාරේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන්නෙකි.
හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල්වල ප්‍රාථමික අංශයේ දරුවන්ට දිවා ආහාරය ලබාදීම වෙනුවෙන් සැපයුම්කරුවන්ට ගෙවීම්කරනු ලබන්නේ කලාප කාර්යාලය මගිනි. එසේ සැපයුම්කරුවන්ට කළ ඇතැම් ගෙවීම් සැපයුම්කරුවන්ට 2015 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළ ලැබී නැති බවත් එසේ ලැබී නැති මුදල් ප්‍රමාණය රුපියල් 4,0925,966කි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය කිරීමේදී පෙනී ගොස් ඇත්තේ කලාප කාර්යාලයෙන් සැපයුම්කරුවන්ට ගෙවූ මුදල් වංචාකර ඇත්තේ කලාප කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකයා විසින් බවය. ඒ අනුව 2021 වසරේදී එම සැකකරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.
මෙම කාර්යාල කාර්ය සහයකයා වැලි ගොඩදැමීමේ ව්‍යාපාරයකද නිරතව සිටින බව සඳහන්ය. නීති විරෝධි වැලි ජාවාරමක් පවත්වාගෙන යන බැවින් ඔහු තමන් දන්නා කියන පුද්ගලයින් යොදා බැංකු ගිණුම් විවෘතකරගෙන ඇති බවත් දිනකට වැලි ජාවාරම්වලින් උපයාගන්නා රුපියල් ලක්ෂයක පමණ මුදලක් ඔහු එම ගිණුම්වල තැන්පත්කරන බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත. හමුදාවේ දෙදෙනාගේ ගිණුම්වලටද මෙම පුද්ගලයා මුදල් තැන්පත්කර තිබී ඇත. ඒ අතර කලාප කාර්යාලය විසින් සැපයුම්කරුවන්ට ලබාදෙන මුදල්වලට අදාල චෙක්පත්ද මෙම ගිණුම්වල තැන්පත්කර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. ඒ අනුව එම සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.