fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්‘SriLankan Direct Connect’ හි ගෝලීය දියත් කිරීම ඉන්දියාවෙන් අරඹයි

    ‘SriLankan Direct Connect’ හි ගෝලීය දියත් කිරීම ඉන්දියාවෙන් අරඹයි

    ශ්‍රීලංකන් ගුවන් සේවය සිය NDC (New Distribution Capability) වෙබ් ද්වාරය (portal) වන ‘SriLankan Direct Connect’ ඉන්දීය සංචාරක නියෝජිතයින් සඳහා හඳුන්වා දී තිබේ. අන්තර්ජාලය තුලින් ආසන වෙන්කර ගැනීමේදී ගුවන් සමාගම සහ සංචාරක නියෝජිතයින් (Travel Agents) අතර සබඳතාවය වැඩි දියුණු කිරීම තුලින් පාරිභෝගිකයින් හට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙහි අරමුණයි.

    NDC (New Distribution Capability) යනු ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) විසින් ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා හඳුන්වා දුන් නවෝත්පාදනයකි. ‘SriLankan Direct Connect’ ඔස්සේ මෙම තාක්ෂණික පහසුකම භාවිතා කරමින් සංචාරක නියෝජිතයින්ට ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ සෘජුව සම්බන්ධවීමේ හැකියාව ලැබෙන අතර ඒ තුලින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ මෙතෙක් මුහුණුදුන් සීමාවන් සහ සංකීර්ණතා සඳහා විසඳුම් ලබා දෙයි.

    “අපගේ සංචාරක නියෝජිතයින් සඳහා IATA හි NDC තාක්ෂණය හඳුන්වා දෙමින් ආසන වෙන්කර ගැනීමේ අත්දැකීම යාවත්කාලීන කළ දකුණු ආසියාවේ ප්‍රමුඛයා බවට පත්වීම ගැන අපි සතුටු වෙනවා. ‘SriLankan Direct Connect’ යනු අපගේ සෘජු බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කරමින් අපගේ මගීන් හට උසස් සේවාවක් සැපයීමට සංචාරක නියෝජිතයින් සවිබල ගන්වන ඉහළ තාක්ෂණික යෙදවුමකි.

    ‘SriLankan Direct Connect’ දියත් කිරීම අප ගමන් මඟෙහි ප්‍රධාන සන්ධිස්ථානයක් වන අතර, මෙමඟින් අපගේ බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීමටත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුලින් අපගේ සේවාවන් ලබාගන්නා සියලු දෙනාට වඩාත් හොඳ සේවාවක් සමග ප්‍රතිලාභ රැසක් ලබාදීමට හැකියාව ලැබෙනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.

    ‘SriLankan Direct Connect’ සඳහා ලියාපදිංචි වන නියෝජිතයින් සඳහා සුවිශේෂී වූ ගුවන් ගාස්තු මෙන්ම නොමිලේ දින සංශෝදනය කිරීමේ පහසුකම් ඇතුලු ප්‍රතිලාභ රැසක් ලබා දීමට නියමිතයි.
    2023 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට දියත් කරන ලද ‘SriLankan Direct Connect’, ඉන්දීය නියෝජිතයන් වෙත හඳුන්වාදීමෙන් පසු ගෝලීය වශයෙන් ඉදිරියේ දී ක්‍රමානුකූලව ව්‍යාප්ත කරනු ඇත. www.srilankan.com වෙත පිවිස මුල් පිටුවේ ඇති නියෝජිතයින් ලියාපදිංචි කිරීමේ සබැඳිය භාවිතයෙන් ‘SriLankan Direct Connect’ සඳහා ලියාපදිංචි විය හැක.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.