පිටකොටුව ඕල්කට් මාවතේ යකඩ වැටකට හේත්තුවී වෙරිමරගාතේ නිදාසිටි ඇමති ආරක්ෂක අංශයේ සැරයන්වරයෙකුගේ ගමන් මල්ල රාජකාරි ගිනිඅවිය සමඟ සොරාගෙන ගොස් ඇත.
මෙම සැරයන්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරියා ය.
මන්ත්‍රීවරයා මාතලේ පිහිටි නිවසට යාමට පසුගිය 08 වෙනිදාට දින නියම කරගෙන සිට ඇති බැවින් ඔවුන් ගමන් ගන්නා වාහනයේ ඉඩකඩ ප්‍රශ්නයක් මත ආරක්ෂක නිලධරියා වූ මෙම සැරයන්වරයාට දැනුම්දී ඇත්තේ බස් රථයකින් මාතලේට පැමිණෙන ලෙසය.
ඒ අනුව මෙම සැරයන්වරයා 07 වෙනිදා රාජකාරි අවසන්කර සිය ඇමති ආරක්ෂක අංශ නිල ඇදුමත් රාජකාරි පිස්තෝලයක් ඇදුම් කිහිපයකුත් බෑගයක දමා රාත්‍රී කාලයේ පිටකොටුවට පැමිණ ඇත්තේ මාතලේ බලා යාමේ අපේක්ෂාවෙනි.
එම ගමනේදී ඔහුට පොලීසියේ මිතුරෙක් හමුවී ඇති අතර ඔහු සමඟ ගොස් ඇත්තේ පොලීසියේ කණිෂ්ඨ නිලධාරීන්ගේ භෝජනාගාරය වෙතය.
එම නිලධාරියා සමඟ කෙලින් කටින් සිටින්නට බැරිවන තරමට පදම්වී මෙම නිලධාරියා ගමන් මල්ලත් කරේ එල්ලාගෙන ඕල්කට් මාවත දිගේ පැමිණෙන විට අතර මඟදී යකඩ වැටකට හේත්තුවී ඔලුව එම වැටේ තබාගෙන දෑස් වසාගෙන ඇත්තේ වෙරිමතින් තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට නොහැකි වූ තැනය.
මෙම නිලධාරියා පවසන ආකාරයට අනුව ගමන් මල්ල එහිදී ඔහු තම පාද දෙක අතර තබාගෙන සිට ඇත.
යකඩ වැටේ ඔලුව තබාගැනීමත් සමඟ නින්ද ගොස් ඇති සැරයන්වරයා නැවත ඇහැරී බලන විට ඔහුගේ පාද අසල තබාතිබුණු ගමන් මල්ල අතුරුදන්ව ඇති බව දැක ගිනි රත්වී හැම තැනම එය සොයා බලා නොමැති වූ තැන පිටකොටුව පොලිස් ස්ථානයට ඒ ගැන පැමිණිලිකර ඇත්තේ ඊයේ දිනයේදීය.
පිටකොටුව පොලීසිය පවසනුයේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවය.