fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවට ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයන් 7කට හම්බන්තොට වරායෙන් පාඩමක්

    ශ්‍රී ලංකාවට ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයන් 7කට හම්බන්තොට වරායෙන් පාඩමක්

    ශ්‍රී ලංකාවේ නව මහකොමසාරිස්වරු සහ තානාපතිවරු ලෙස පත්වූ රාජ්‍ය තාන්ත්‍රිකයින් 07 දෙනෙකු හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීමට හම්බන්තොට වරාය බලධාරීන් පියවර ගෙන තිබේ.

    ඉතාලි ජනරජය, ඊජිප්තු අරාබි ජනරජය, සිංගප්පූරු ජනරජය, බංගලාදේශ මහජන සමූහාණ්ඩුව, බෙල්ජියම් රාජධානිය සහ යුරෝපා සංගමය, කියුබා ජනරජය සහ නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය යන රටවල තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවලට අනුයුක්ත කරන ලද රාජ්‍යතාන්තික දූත පිරිස මෙසේ දැනුවත්කර ඇත.

    එහිදී, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) පසුගිය වසර 5 තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කර තිබේ.

    “මෙවැනි හමුවක් ඉතා වැදගත් වන්නේ එමගින් HIP මෙතෙක් ලබා ඇති සාර්ථකත්වය මෙන්ම අපගේ කලාපයට සහ රටේ ආර්ථිකයට ලබා දී ඇති ප්‍රතිලාභ සහ අනාගත සැලසුම් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමට තිබෙන අවකාශය නිසා. මෙතුළින් අපගේ ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන්ට ජාත්‍යන්තර ප්‍රජාව වෙත වරාය පිළිබඳ නිවැරදි ප්‍රතිරූපයක් නිරූපණය කිරීමට හැකිවනු නොඅනුමානයි. ඇතැම් විට ජාත්‍යන්තර වශයෙන් වරාය සම්බන්ධව පැතිර යා හැකි වැරදි ප්‍රචාරයන් නිශෝධනය කිරීමට ද මෙය උපකාරී වනු ඇත. පැමිණ සිටි සෑමදෙනා ඉතා උනන්දුවෙන් සැසියට සහභාගී වූ අතර අදාළ වරාය නිලධාරීන් ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට ඉදිරිපත් වුනා,” යි HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා එහිදී එසේ පවසනු ලැබීය.

    HIP හි වරාය සේවා, ඒකාබද්ධ සැපයුම්, සමුද්‍ර සේවා, වරාය ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය, බංකරින් යන සේවාවන්හි කාර්යභාරය පිළිබඳව එම රාජ්‍ය තාන්ත්‍රිකයන්ව දැනුවත් කිරීමටද මෙහිදී වරාය බලධාරීන් පියවර ගත්තේය.

    ඒකාබද්ධ ප්‍රවාහන, කාර්මික උද්‍යාන සහ වරාය ආශ්‍රිත කර්මාන්ත, සමුද්‍ර සේවා, බලශක්ති කේන්ද්‍රස්ථානය, වරායේ ප්‍රධාන ව්‍යාපාර මෙන්ම වරාය විසින් දිනාගත් ප්‍රමිති සම්මාන සහ ප්‍රශංසා පිළිබඳවද දළ විශ්ලේෂණයක් එහිදී ලබා දෙන ලදී. වසර 5ක් තුළ සිදු කරන ලද ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති ද මෙහි ඇතුලත් විය. අපේක්ෂාවේ ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය, අංගසම්පූර්ණ PCR පරීක්ෂණ රසායනාගාරය, තිස්සපුර කනිෂ්ඨ පාසල් සංවර්ධන ව්‍යාපෘතිය, අලි මිනිස් ගැටුම පිළිබඳ කරුණු සෙවීමේ ව්‍යාපෘතිය, අලි මිනිස් සාම අරමුදල, අලි මිනිස් සාම අරමුදල යටතේ විදුලි වැට ව්‍යාපෘතිය, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සහ කසළ එකතු කිරීමේ බඳුන් ලබා දීම වැනි ව්‍යාපෘතිද සාකච්ඡාවට ලක් විය. මෙම ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් මිලියන 1.1 කට වැඩි මුදලක් වරාය විසින් වැය කොට ඇත.

    මෙම දූත පිරිස සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, මානව සම්පත්, පර්යේෂණ සහ පුහුණු, ඊ. ඒ. එස්. විජයන්ති එදිරිසිංහ මහත්මියද එක්ව සිටියාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.