fbpx
තවත්
    මුල් පිටුවspecialවසර 40කට පසු ලොව දැවැන්තම අයිස් කුට්ටිය පාවීමට පටන් අරන්

    වසර 40කට පසු ලොව දැවැන්තම අයිස් කුට්ටිය පාවීමට පටන් අරන්

    ලොව විශාලතම අයිස් කුට්ටිය කැඩී ගොස් පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති.

    ඒ දශක තුන හතරකට වැඩි කාලයකට පසුව ය. මෙය ලොව පැරණිතම අයිස් කුට්ටි අතුරින් එකකි.

    A23a ලෙස හඳුන්වන මෙම ඇන්ටාක්ටික් අයිස් කුට්ටිය වර්ග කිලෝමීටර් 4,000 ක් (වර්ග සැතපුම් 1,500) පමණ විශාලත්වයකින් යුතු ය. එනම් නිව්යෝර්ක් නගරය මෙන් තුන් ගුණයක් විශාලය.

    A23a අයිස් කුට්ටිය ප්‍රථම වරට ඇන්ටාක්ටික් වෙරළ තීරයෙන් වෙන් වූයේ 1986 දී ය.

    බටහිර ඇන්ටාක්ටිකාවේ ෆිල්ච්නර්-රොන් අයිස් තට්ටුවෙන් කැඩී ගිය මෙම දැවැන්ත අයිස් කුට්ටිය වරක් සෝවියට් පර්යේෂණ මධ්‍යස්ථානයකට ගොඩබිම වූයේ ය.

    කෙසේවෙතත් එහි පාදම වෙඩෙල් මුහුදේ පතුලෙහි සිරවීමෙන් පසු මෙම අයිස් කුට්ටිය අයිස් දූපතක් බවට පත්ව සිටියේය.

    දැන් ඉන් මිදී මෙට්‍රික් ටොන් ට්‍රිලියනයකට ආසන්න බරකින් යුත් මෙම අයිස් පර්වතය, දැඩි සුළං සහ ධාරා ආධාරයෙන් ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ උතුරු කෙළවර පසුකර වේගයෙන් ගසාගෙන යන බව මෑත කාලීන චන්ද්‍රිකා ඡායාරූප හෙළි කරයි.

    මෙම ප්‍රමාණයේ අයිස් කුට්ටි ගමන් කිරීමක් දක්නට ලැබෙන්නේ කලාතුරකින් බව බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ග්ලැසියර විද්‍යාඥ ඔලිවර් මාෂ් පැවසීය.

    දැන් විද්‍යාඥයන් එහි ගමන් පථය හොඳින් නිරීක්ෂණය කරමින් සිටී.

    මෙම දැවැන්ත පර්වතය ඇන්ටාක්ටික් වටකුරු ධාරාවට දියත් කරනු ඇති බව විද්‍යාඥයෝ පවසති.

    මෙය ‘අයිස්බර්ග් ඇලී’ ලෙස හඳුන්වනු ලබන මාර්ගයක් ඔස්සේ දකුණු සාගරය දෙසට ගමන් කරමින් සිටින බව ඔවුන්ගේ මතයයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.