චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ රාජ්‍ය නායක හමුවට එක්වෙයි. ඒ, ඇමරිකානු වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා,
සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේ දී ය.
ජෝ බයිඩන් ජනාධිපතිවරයා බාලි දූපතේ දී හමු වී මේ වනවිට වසරක් ගෙවී ඇතැයි චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. ගෙවී ගිය වසර තුළ, බොහෝ දේ සිදුවිය. කොවිඩ් වසංගතයෙන් ලෝකය ප්‍රකෘතිමත් වී ඇතත්, වසංගතයෙන් එල්ල වූ බලපෑම් තවමත් පවතී. ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද එහි ගම්‍යතාව ප්‍රමාණවත් නොවේ. කාර්මික හා සැපයුම් දාමයන්ට බාධා එල්ල වී ඇති අතර, ආරක්ෂණවාදය ද ඉහළ යමින් පැවතීම ද කැපී පෙනේ.
ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව වන චීන-ඇමරිකානු සබඳතාව, ගෙවුණු සියවස තුළ පෙර නොවූ විරූ අයුරෙන් වේගයෙන් වෙනස් වූ ලෝක ස්වභාවයන් සලකා යළි සැලසුම් කළ යුතුය. එමෙන්ම, දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන අතර ම, මානව දියුණුව වෙනුවෙන් වගකිව යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ගෙවී ගිය වසර 50 කට වැඩි කාලය තුළ, වරින් වර ප්‍රශ්න රැසක් මතු වුව ද චීන- ඇමරිකානු සබඳතාව අඛණ්ඩව ඉදිරියට යමින් වර්ධනය වී ඇති බව ද ෂී ජින්පිං මහතා පැවසීය. මෙවැනි ප්‍රබල රටවල් දෙකක් සබඳතා නොපැවැත්වීම සිදු විය නොහැකි දෙයක් වන අතර, එක් රටක් අනෙක් රට වෙනස් කිරීමට උත්සාහ දැරීම යථාර්ථවාදී නොවේ. එසේම එකිනෙකා ගැටීමේ ප්‍රතිඵලය කිසිදු පාර්ශ්වයකට භාර ගත නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේය.
චීන ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වාදුන්නේ, ප්‍රබල රටවල් අතර තරඟය නූතන යුගයේ හරය බවට පත් නොවන බවයි. තරඟය ඔස්සේ චීනය, ඇමරිකාව හා ලෝකය මුහුණ දෙන ප්‍රශ්න විසඳිය නොහැකි ය. චීනයේ හා ඇමරිකාවේ පැවැත්මට පෘථිවියේ ප්‍රමාණවත් අවකාශයක් පවතී. දෙරටේ සාර්ථකත්වය එකිනෙකාට අවස්ථාවන් ලෙස සැලකිය හැකි බව ද හෙතෙම පැවසීය. ඉතිහාසය හා සංස්කෘතිය, සමාජ ක්‍රම, සංවර්ධන ක්‍රියාමාර්ග යනාදියෙන් චීනය හා ඇමරිකාව අතර වෙනස්කම් පවතී. එහෙත් අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, සාමකාමී සහපැවැත්ම, සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණ ලබාගැනීම දෙපාර්ශ්වය අනුගමනය කළහොත් මතභේද ඉක්මවා ප්‍රබල රටවල් දෙකක සබඳතාව මනාව පවත්වා ගැනීමේ නිවැරදි ක්‍රමය සොයා ගත හැකි ය. දෙරට සබඳතාවට දීප්තිමත් අනාගතයක් ඇති බවට ද ෂී ජින්පිං මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.
චීන – ඇමරිකා සබඳතාවේ නියමුවන් ලෙස තමාට හා ජෝ බයිඩන් ජනාධිපතිවරයාට ජනතාව, ලෝකය හා ඉතිහාසය වෙනුවෙන් දැවැන්ත වගකීම් සම්භාරයක් ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ජෝ බයිඩන් මහතා සමග දෙරට සබඳතාව පිළිබඳ ක්‍රමෝපායීය සහ පිරිපුන් දැක්මකින් යුතු වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙන්ම ලෝක සාමය හා සංවර්ධනයට සම්බන්ධ වැදගත් ප්‍රශ්න පිළිබඳව ද අදහස් හුවමාරු කරමින් නව එකඟතාවන්ට එළඹීමට හැකි වෙතැයි ද ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කළේය.