විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවනු ලබන විදේශ ප්‍රේෂණවල වටිනාකම ඉකුත් වසරට සාපේක්ෂව 75%කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා රජය විසින් ලබා දී ඇති දිරිගැන්වීමේ වැඩසහන් කිහිපයක් මෙලෙස විදේශ ප්‍රේෂණ ලැබීම් ඉහළයාමට මූලික හේතුව වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙලෙස විදේශ ප්‍රේෂණ ඉහළයාම හේතු වී ඇති එක් ක්‍රමවේදයක් වී ඇත්තේ, විදේශගත ශ්‍රී ලාංකිකයන් හට වාහන ආනයන බලපත්‍රයක් ලබා දීමට පියවර ගැනීමයි. මෙම ක්‍රමවේදය මගින් විදේස් රටවල ස්ථීර පදිංචිකය හිමි හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ශ්‍රී ලාංකිකයින් හට මෙරටට විදේශ ප්‍රේෂණ එවීමට දිරිමත් කර ඇත. එය පදනම්ව ඔවුන් හට සම්මත තීරුබදු ගෙවීමෙන් පසු විදුලි වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබා දීමටද මෙමගින් අවසර ලබා දී ඇත.
මෙම ක්‍රමවේදය තීරුබදු රහිතව වාහන ආනයන කිරීමට අවස්ථාවක් ලබාදීමක් නොවන අතර එය හුදෙක් විදුලි වාහන සඳහා ලබා දෙන ආනයන බලපත්‍රයක් පමණි. වාහනය ආනයනය කිරීම සඳහා එම තැන්තාගේම විදේශ විනිමයම භාවිතා කරන අතර, එය රටේ විදේශ සංචිතවලට බලපෑමක් එල්ල නොකරයි. මෙම ක්‍රමවේදය මගින් ශ්‍රී ලංකා රේගුව සිය රේගු ආදායම වශයෙන් රුපියන් බිලියනකට අධික ආදායමක් උපයා ගැනීමටද සමත්ව ඇත. මෙම ක්‍රමවේදය ආනයන වාහන සඳහා සම්පුර්ණයෙන්ම තීරුබදු ගෙවන ක්‍රමයවේදයක් වන අතරම ඉහළ වටිනාකමක් ඇති සුඛෝපභෝගී වාහන සඳහා තීරුබදු සහනයක් ලබා දීමක් සිදු නොකරයි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කළේ මෙම නව ක්‍රමවේදය මගින් ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ ප්‍රේෂණ එවීමට නව විදේශ ගත ශ්‍රී ලංකකින් පිරිසක් දිරිමත් කිරීමට සමත්වය ඇති බවයි. මෙම ක්‍රමවේදය හේතුවෙන් රේගු ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවූ බවද ශ්‍රී ලංකා රේගුවේ මෝටර් රථ අධ්‍යක්ෂක මණ්ඩලය ද තහවුරු කළේය.
කෙරෝනා වසංගතයෙන් සහ මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ශ්‍රී ලංකා ආර්ථිකයට විදේශ ප්‍රේෂණ ඉහළ යාම ඉතා යහපත් ප්‍රවනතාවයකි. ශ්‍රී ලංකා රජය විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙරට තුල ආයෝජනය කිරීමට පෙළඹවීමට ගෙන ඇති වැඩපිළිවෙළ ධනාත්මක ප්‍රතිඵල ලබා දී ඇත. එවැනි තවත් මුලපිරීම් සමඟින්, ඉදිරයේදී විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් තවදුරටත් විදේශ ප්‍රේෂණ සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටද හැකියාව පවතී.
පසුගියදා (19) පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදි අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.