උතුරු ඊශ්‍රායලයේ දේශසීමාව අසලදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට පත්වූ බව කියන ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා මිනිස් ජාවාරම්කරුවන් විසින් ජෝර්දානයේ සිට ඊශ්‍රායලය වෙත රැගෙන එන ලද අය බවට වාර්තා වූ බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
යමූච් ප්‍රදේශයේ ජෝර්දාන් හා ඊශ්‍රායිල් නිලධාරීන් ඒකාබද්ධව කරන ලද සෝදිසි කිරීමේදී මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට පත්වූ බව මේ පිළිබඳ තතු සොයාබැලීමේදී වාර්තා වූ බව එහි තානාපති නිමල් බණ්ඩාර මහතා කීය.
මෑතක දී හමාස් ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලාංකිකයා ද එසේ අනවසරයෙන් ඊශ්‍රායලයට මිනිස් ජාවාරම්කරුවන් විසින් රැගෙන එන ලද පුද්ගලයෙක් බව හෙතෙම කියාසිටියේ ය.
ප්‍රහාරයට ලක්වූ විදේශිකයන්ට වන්දි මුදලක් හිමිවුවද වීසා බලපත්‍රයක් නොමැතිව පැමිණීම හා අනවසරයෙන් ඊශ්‍රායලයේ ජීවත්වීම හේතුවෙන් ඔහුට කිසිඳු වන්දි මුදලක් හිමි නොවන බව තානාපතිවරයා අවධාරණය කළේය.
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ප්‍රියංගිකා විජේගුණසේකර මහත්මියද දුරකතනයෙන් අත්අඩංගුවට පත්වූ කාන්තාවන් දෙදෙනා පිළිබඳව විමසීමේදී පවසා ඇත්තේ මෙම ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාවය හදුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
මෙරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් ලක්ෂ 40-50 වැනි මුදලකට, ශ්‍රී ලංකාව ජෝර්දානය හා ඊශ්‍රායලය තුල මනා ලෙස ස්ථානගත වූ මිනිස් ජාවාරම්කරුවන් ඊශ්‍රායලයේ රැකියා ඇතිබව පවසමින් සංචාරක විසා මත පුද්ගලයන් රැගෙන ඒම මහා ජාවාරමක් ක්‍රියාත්මක බව තානාපතිවරයා පෙන්වා දෙයි.
ඔවුන් ශ්‍රී ලාංකිකයන් රැගෙන එන්නේ අදාළ මුදලින් කොටසක් ලබාගනිමින් ඉතිරි කොටස රැකියාවක් කිරීමෙන් පසු ලබාගැනීමේ පොරොන්දුව සමගින් බවත් අදාල මුදල් ලබාදෙන තෙක් ශ්‍රී ලාංකිකයන්ගේ ගමන් බලපත්‍ර ඔවුන් භාරයේ තබාගන්නා බවත් ඔහු කියාසිටී.
මෙසේ පැමිණෙන පිරිස අතර දරුවන් සමඟ පැමිණෙන පවුල් ද වන බවත් මෑතකදී එසේ පැමිණි පවුලක මව පියා හා දරු දෙදෙනෙකු වූ අතර පියා හා පුත්‍රයා ඊශ්රායිල් ආගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවල් කරන ලද බව ද හෙතෙම කීය.
මවත් දියණියත් ඊශ්‍රායලයේ අනවසරයෙන් වීසා නොමැතිව ජිවත් වන අතර ඔවුන් තම ගමන් බලපත්‍ර නැතිවූ බව පවසමින් නව ගමන් බලපත්‍ර ලබාගැනීමට තානාපති කාර්යාලයට පැමිණියත් වලංගු ගමන් බලපත්‍රයක් දරන අයෙකුට තවත් ගමන් බලපත්‍රයක් ලබා දීම නිතිය අනුව කළ නොහැකි බව තානාපතිවරයා අවධාරණය කර සිටී.
මිනිස් ජාවාරම් කරුවන් විසින් රැගෙන එන පුද්ගලයන් විසින් අදාළ ජාවාරමට හසුවූ ශ්‍රී ලාංකිකයන්ගෙන් හිගමුදල් ඉල්ලා ශාරීරික හා මානසික පීඩා කරන අවස්ථාවන් ද වාර්තා වන බව තානාපතිවරයා පවසයි.
මෙසේ ඊශ්‍රායලයට අනවසරයෙන් රැගෙන එන ලද හා සංචාරක වීසා මත රැගෙන එන පුද්ගලයන්ගේ ගණන 800-1000 අතර පිරිසක් ජිවත්වන බව ගණනය කර ඇත. මෙසේ ජිවත්වන පිරිස අත්අඩංගුවට පත්වුවහොත් පිටුවහල් කෙරෙන බව ද තානාපතිවරයා කීය.
අඩංගුවට පත්වූ පිරිස හදුනාගැනීම සඳහා තානාපති කාර්යාලයට පැමිණි පසු ඔවුන් පවසන්නේ තමන් පොලියට මුදල්ගෙන, ඉඩම් උකස් තබා ලක්ෂ 40-50 තමා රැගෙන ආ පුද්ගලයන්ට ගෙවා ඇති බැවින් ශ්‍රී ලංකාවට නැවත යා නොහැකි බවත් ලංකාවට යාමට සිදුවුවහොත් දිවි නසාගන්න බවත්ය.
තානාපති කාර්යාලය මෙවැනි පුද්ගලයන් කෙරෙහි කළ හැකි නීත්‍යනුකුල උදව් ලබාදුන්න ද නීතියෙන් පිට ඔවුනට උදව් කිරීමේ අවකාශයක් නොමැති බව ද තානාපතිවරයා පැහැදිලි කර සිටී.
එමනිසා මෙම බැරෑරුම් තත්ත්වය හොදින් වටහා ගෙන නිත්‍යානුකුල නොවන අයුරින් ජාවාරම්කරුවන් මාර්ගයෙන් ඊශ්‍රායලයට නොපැමිණෙන මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.









