තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අලුත් නීති ආ පමණින් අල්ලස දූෂණය අවම වෙන්නෙ නෑ"

    “අලුත් නීති ආ පමණින් අල්ලස දූෂණය අවම වෙන්නෙ නෑ”

    නව නීති සකස් කළ පමණින් අල්ලස හා දුෂණය අවම කිරීම කිරීම කළ නොහැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    එම නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් අවශ්‍ය සහාය ලබා දිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

    පාර්ලිමේන්තුවේදී සම්මත කළ දුෂණ විරෝධී පනත පිළිබදව මාධ්‍ය දැනුවත් කරමින් අමාත්‍යවරයා අද (20) පෙරවරුවේ මේ බව කීය.

    එහිදී කරුණු දැක්වූ අධිකරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

    “අපේ රටේ සිදු වන අල්ලස් හා දුෂණ සදහා දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ බවට ජනතාව අතර මතයක් තිබෙනවා. එහෙත් එම මතය නිවැරදි කරන්න කිසිම අයෙක් නිසි ක්‍රියා මාර්ග ගත්තේ නැහැ. දුෂණ විරෝධි නව පනත සම්මතවීමත් සමග ඉදිරියේදී පත් කරනු ලබන නව අල්ලස් කොමිෂන් සභාවට අල්ලස හා දුෂණ තුරන් කිරීමට අවශ්‍ය පුර්ණ බලය පවතිනවා. මීට වසර කිහිපයකට පෙර මේ කලාපයේ අල්ලස හා දුෂණය වැඩිම රටවල් ලෙස හොංකොං දේශය සහ සිගප්පුරුව සලකනු ලැබුවා. එහෙත් එම රටවල් දෙකම නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නව නීති සකස් කළා . අල්ලස හා දුෂණය අවම කරන්න නව නීති සකස් කළ පමණින් ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නීති නිසි පරිදි ක්‍රියාත්මක කරන්න දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් අවශ්‍ය සහාය ලබා දිය යුතුයි. දුෂණ විරෝධි පනත පිළිබදව වැරදි මතයන් සමාජ ගත වුණා. ඒ සියලු වැරදි මත නිවැරදි කරමින් මේ නව පනත සම්මත කිරීමට අපේ රටේ මාධ්‍ය ආයතන විශාල සහයෝගයක් ලබා දුන්නා .

    පාර්ලිමේන්තුවේ සම්මත කළ මේ ඵෙතිහාසික පනත සම්මත කර ගැනීමට සහාය දුන් මාධ්‍ය ආයතන ඇතුළු සියලු දෙනාට ස්තූතිය පුද කරනවා.අපි මේ පනත සකස් කරනු ලැබුවේ කිසිම අයෙකුගේ බලපෑමක් නිසා නොවෙයි. පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ අදහස් අපි ලබා ගත්තා. දැනට පවතින අල්ලස් පනත, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභා පනත සහ වත්කම් බැරකම් පනත ඉවත් කරමින් තනි පනතක් වශයෙන් මේ දුෂණ විරෝධි පනත සකස් කළා. කිසිම අයෙකුට මේ කොමිෂන් සභාවට බලපෑම් කරන්න බැහැ. මුල්‍යමය වශයෙන් හා විමර්ශන සිදු කිරීම අතින් කොමිෂන් සභාව ස්වාධීනයි. පෞද්ගලික අංශයේ සිදු වන දුෂණ විමර්ශනය කිරීමේ බලය නව අල්ලස් කොමිෂන් සභාවට පවතිනවා.

    ලිංගික අල්ලස් ලබා ගැනීමට කටයුතු කිරීම සාපරාධි අපරාධ ක්‍රියාවක් ලෙස මේ පනත තුළින් නම් කර තිබෙනවා. ක්‍රිඩා සංගම් තුළ සිදුවන දුෂණ අල්ලස් දුෂණ විමර්ශන කිරීමේ හැකියාව නව අල්ලස් කොමිෂන් සභාව සතුයි. වත්කම් හා බැරකම් ඉදිරිපත් කළත් ඒ පිළිබදව අධික්ෂණය කර කටයුතු කිරීමේ හැකියාවක් පැවතියේ නැහැ. වත්කම් හා බැරකම් පිළිබදව අධීක්ෂණය කිරීමේ බලය නව පනත මගින් ලබා දී තිබෙනවා. වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, පළාත් මහ ඇමතිවරුන්, පළාත් ඇමතිවරුන්, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් මීට පෙර ඒ සදහා ඇතුළත්ව තිබුණේ නැහැ. නව වත්කම් බැරකම් පනත යටතේ ඒ සියලු දෙනා වත්කම් හා බැරකම් ලබා දිය යුතුයි.

    නව අල්ලස් කොමිෂන් සභාව සදහා පත් කරනු ලබන කොමසාරිස්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය යටතේ පත් කළ යුතුයි. පැවති අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කරන ලද පැමිණිලි විමර්ශනය කිරිම සදහා විශේෂඥ දැනුම සහිත විශේෂඥයින් නොමැති වු හෙයින් ක්ෂේත්‍රයේ ප්‍රවිණ විශේෂඥයින් බදවා ගැනීමේ බලය දුෂණ විරෝධි පනත සම්මතවීමත් සමග ස්ථාපිත කරනු ලබන අල්ලස් කොමිෂන් සභාවට ලබා දි තිබෙනවා. අවශ්‍ය අවස්ථාලදී නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමේ හැකියාව ද කොමිෂමට පවතිනවා. මීට පෙර පැවති අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සිදු කරනු ලබන කටයුතු සම්බන්ධව අධික්ෂණය කිරීමක් සිදු කිරීමේ සිදු වුයේ නැහැ. එහෙත් නව දුෂණ විරෝධි පනත යටතේ ස්ථාපිත කරනු ලබන අල්ලස් කොමිෂම යටතේ පත් කරන කොමසාරිස්වරුන් මාස හතරකට වරක් තම කාර්ය සාධණය පිළිබදව පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දියු යුතුයි. එම කොමසාරිස්වරුන් නිසි පරිදි තම කටයුතු සිදු නොකරන්නේ නම් ඔවුන් ඉවත් කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවට පවතිනවා” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    මෙහිදී අදහස් පළ කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ, සරත් ජයමාන්න මහතා මෙසේ පැවසීය.

    “නව අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් සිදු කරනු ලබනවා. ඒ ඒ විෂය ක්ෂේත්‍රයේ පිළිබදව විශේෂඥ දැනුම සහිත විශේෂඥයින් බදවා ගැනීමේ බලය කොමිෂන් සභාව සතුයි. අල්ලස් කොමිෂන් සභාවේ කටයුතු සදහා අවශ්‍ය මුල්‍යම වියදම් පාර්ලිමේන්තුව විසින් ලබා දෙන අතර, කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම සිදු කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් සිදු කරනු ලබනවා. වසර 20 කට වඩා පළපුරුද්ද සහිත අත් දැකිම් ඇති දැනුමක් සහිත පුද්ගලයින් කොමසාරිස්වරුන් ලෙස බදවා ගැනීම සිදු කිරීමට නියමිතයි. ඔවුන්ගේ වයස අවුරුදු 62 ට අඩු විය යුතුයි. අල්ලස් හෝ දුෂණ පිලිබදව විමර්ශනය කර නඩු පැවරීමේ බලය මෙන්ම අල්ලස හා දුෂණය නිවාරණය කිරීමේ බලතල නව කොමිෂන් සභාවට තිබෙනවා. අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් මාස 4 කට වරක් පාර්ලිමේන්තුවට කාර්ය සාධන වාර්තාවක් ලබා දිය යුතුයි. කිසියම් අයෙකු විසින් තමන් විසින් කළ පැමිණිලි පිළිබදව සිදු කරන ලද විමර්ශන කටයුතු සම්බන්ධව සොයා බැලීමේ හැකියාව පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාට පවතිනවා. මුදල් විශුද්ධිකරණය යටතේ නඩු පැවරීමේදී ප්‍රධාන වරද අල්ලස් ලබා ගැනීම නම් නඩු පැවරීමේ බලය කොමිෂන් සභාව සතුයි”යැයිද සරත් ජයමාන්න මහතා වැඩිදුරටත් සදහන් කලේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img