fbpx
තවත්

    විමල්ට වරෙන්තු

    එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු 2016 වසරේදී මෙරට සංචාරයක නිරතවන අවස්ථාවේදී මාර්ගය හරස් කිරීමට එරෙහිව පනවා ඇති නඩුවට පෙනී නොසිටිම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19) වරෙන්තු නිකුත් කළේය.

    මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ද අධිකරණය හමුවේ පෙනී නොසිටියේය. එහෙත් ඔහු වෙනුවෙන් ඉදිරිපත්ව සිටි නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක යන මහත්වරු ද පළාත් සභා මන්ත්‍රීවරයෙක් වූ රොජර් සෙනෙවිරත්න මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ විමල් වීරවංශ මහතා ඇතුළු මේ අයට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

    විමල් වීරවංශ මහතා මෙම නඩුවේ පළමුවන විත්තිකරු වශයෙන් නම් සිටියි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.