තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිල බස්සන්න කුකුළු මස් රටින් ගෙන්නන්න සූදානම්

    මිල බස්සන්න කුකුළු මස් රටින් ගෙන්නන්න සූදානම්

    කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා සකස් කළ යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

    කුකුළු මස් මිල ඉහළ යාම පාලනය කිරීම මෙන්ම දැනට පවතින බිත්තර හිඟය අවම කරලීම සඳහා වන යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    මෙම යෝජනාවලිය දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවය ද සහිතව ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    කුකුළු නිෂ්පාදන කර්මාන්තයේ යෙදී සිටින කර්මාන්තකරුවන් සමග අද (09) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    රජය විසින් දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කළ ද මේ වනවිට රට තුළ කුකුළු මස් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

    එමෙන්ම බිත්තර හිඟය ද මෙතෙක් විසඳී නොමැත.

    එමනිසා කුකුළු මස් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමටත්, අවශ්‍ය වුවහොත් පිටරටින් කුකුළු මස් ආනයනය කිරීමටත් රජය සාකච්ඡා කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

    දැනට කුකුළු මස් මිල රුපියල් 1300ක පමණ මිලක පැවතුනත් මාස තුනක් තුළ එම මිල රුපියල් 1200ක් දක්වා අවම කළ හැකි බව මෙහිදී කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවෝ පැවසූහ.

    මෙම මිල අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමග ගිවිසුමකට එළඹීමට වුවද හැකි බව එම කර්මාන්තකරුවෝ ප්‍රකාශ කළහ.

    කෙසේ වුවද මෙම සාකච්ඡාවේ දී එළඹී තීරණ සම්බන්ධ තොරතුරු සහිත වාර්තාවක් ලබන සතියේ රැස්වන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හා එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

    මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා රජය අවශ්‍ය සහන ලබා දුන්නද එහි වාසිය පාරිභෝගික ජනතාවට ලැබී නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමනිසා ලබන සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී කුකුළු මස් මිල ඉහළ යාම හා බිත්තර හිඟය සම්බන්ධව රජය විසින් දැඩි තීන්දු තීරණ කිහිපයක් ගනු ඇතැයි ද අමාත්‍යවරයා කීය.

    “අවශ්‍ය වුවහොත් දැඩි නීති රීති මත හෝ කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්වීමට පියවර ගන්නවා. කාලගුනික හේතුන් නිසා මේ දිනවල මත්ස්‍ය කර්මාන්තය අඩාල වී තිබෙනවා. එමනිසා කුකුළු මස්වලට ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.” යැයි ද ඇමැතිවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img