fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කෘතිම සීනි ආදේශක ගන්න එපා" - WHO

    “කෘතිම සීනි ආදේශක ගන්න එපා” – WHO

    බර අඩුකරගැනීමට හෝ බෝ නොවන රෝගවලින් වැළකීමට සීනි නොවන පැණිරසකාරක (NSS) හෙවත් කෘතිම සීනි ආදේශක භාවිතයට නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කර තිබේ.

    නව මාර්ගෝපදේශනයක් නිකුත් කරමින් එම සංවිධානය පසුගිය 15 වැනිදා මේ බව නිවේදනය කර ඇත.

    සීනි සඳහා ‘සෞඛ්ය සම්පන්න’ විකල්පයක් ලෙස සළකන ඇස්පාර්ටේම්, සැචරින්, ස්ටේවියා සහ අනෙකුත් ආදේශක සම්බන්ධයෙන් ද මෙහිදී එම සංවිධානය කරුණු ඉදිරිපත් කර තිබේ.

    බර පාලනය කර ගැනීමට හෝ ආහාර මගින් ඇතිවන බෝ නොවන රෝග අවදානම අඩු කිරීමට සීනි නොවන රසකාරක භාවිතා නොකළ යුතු බවට WHO මෙහිදී සිය ‘කොන්දේසි සහිත’ මාර්ගෝපදේශය මගින් යෝජනා කර ඇත.

    එම සංවිධානය පවසන්නේ සීනි නොවන පැණිරසකාරක දිගු කාලයක් භාවිත කිරීමෙන් 2 මට්ටමේ දියවැඩියාව, හෘද වාහිනී රෝග සහ වැඩිහිටියන්ගේ මරණ වැඩිවීම වැනි අවදානම් වෙත අනවශ්‍ය බලපෑම් ඇති විය හැකි බවයි.

    සීනි පරිභෝජනය අඩුකිරීමට නම් පැණිරස නොකළ ආහාර සහ පාන වර්ග භාවිතය, පලතුරු වැනි ස්වභාවිකව සීනි සහිත ආහාර පරිභෝජනය වැනි සීනි පරිභෝජනය අඩු කිරීමට ඇති වෙනත් ක්‍රම ගැන මිනිසුන් සලකා බැලිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි.

    සීනි නොවන පැණිරසකාරක පිළිබඳ වැඩි අවධානයක් මතුවූයේ 2015න් පසුවයි.

    සීනි අධික ලෙස ගැනීම බර වැඩිවීමට හා තරබාරුකමට සම්බන්ධ බව WHO පවසා පැවසීමත් සමඟ පාරිභෝගිකයින් විකල්පයක් ලෙස සීනි නොවන පැණිරසකාරක ආදේශක වෙත හැරීමට හේතු විය.

    ශරීරයේ බර අඩු කර ගැනීමට සහ දියවැඩියා රෝගීන්ගේ රුධිර ග්ලූකෝස් පාලනයට උපකාර වන සීනි නැති, සීනි අඩු හෝ කැලරි රහිත විකල්ප ලෙස සීනි නොවන පැණිරසකාරක (NSS) අලෙවි කෙරේ.

    එබැවින් මේවා භාවිතයට බොහෝ දෙනෙක් නැඹුරුවී ඇත.

    වැඩිහිටියන්, ළමුන් සහ ගර්භනී කාන්තාවන් තුළ සීනි නොවන රසකාරකවල සෞඛ්‍ය බලපෑම් තක්සේරු කරන ලද අධ්‍යයන 283 ක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සමාලෝචනය කර ඇත.

    සීනි නොවන රසකාරක සඳහා මගින් දිගු කාලීනව බර පාලනයට උපකාරී නොවන බවට ද එහිදී සොයාගෙන ඇත.

    මේ අතර, ජන අනුපාතය අනුව ආසියාවේ ඉහළම දියවැඩියා රෝගීන් සිටින රට ශ්‍රී ලංකාව බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සහ කොළඹ රුහුණ රජරට විශ්වවිද්‍යාලය එක්ව කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් කළේය.

    ඒ අනුව යාපනයේ මෙන්ම උතුරු සහ නැඟෙනහිර පළාත්වලත් බස්නාහිර පළාතේත් දියවැඩියා රෝගීන් හමුවන අනුපාතය ඉහළ අගයක් ගනී.

    එම සමීක්ෂණයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 31ක ප්‍රතිශතයකට දියවැඩියාව වැලඳී ඇත.

    ඒ අනුව සෑම වැඩිහිටි පුද්ගලයන් 3 දෙනකුගෙන්ම එක් අයකු දියවැඩියා රෝගියකු බවත් සමීක්ෂණ කණ්ඩායම පවසයි.

    ඔවුන්ට අනුව ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැලඳී ඇත. එය 23%ක ප්‍රතිශතයකි.

    2019 වසරේදී කොළඹ, රුහුණ, රජරට විශ්වවිද්‍යාල කළ සමීක්ෂණයකට අනුව සෑම පුද්ගලයන් තුන්දෙනකුගෙන් එක් අයකු දියවැඩියාවට ප්‍රතිකාර ගෙන තිබිණි.

    මෙම දත්තවලට අනුව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය පුරෝකථනය කළේ මේ වන විට බිඳ වැටී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා සැපයුම් පිළිබඳ තත්ත්වය සලකා බැලීමේදී ඉදිරි වසර කිහිපය ඇතුළත මිලියන ගණනින් ශ්‍රී ලාංකිකයන් දියවැඩියාවට ගොදුරු වීම වැළැක්විය නොහැකි වනු ඇති බවය.

    සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සිදු කළ අධ්‍යයනයට අනුව තරබාරු පුද්ගලයන් මෙන්ම නාගරික සැප පහසු ප්‍රදේශවල ජීවත් වන අයට දියවැඩියාව වැඩි වශයෙන් වැලඳී තිබිණි.

    එමෙන්ම මිලියනයකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන්ට දියවැඩියාව වැලඳී ඇති බව නොදැන ජීවත් වන බවද සමීක්ෂකයෝ හෙළිකළහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.