සිලා දි ගුණධර්මයන්ගෙන් පෝෂිතව සිය වගකීම් හා යුතුකම් මත පිහිටා කටයුතු කිරීම වත්මන් ගෝලීය මෙන්ම සමාජීය අර්බුද සඳහා එකම විසඳුම බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ සඳහන් කරති.
පසුගිය කාලය තුළ සිදුවූ ආර්ථික හා සමාජ බිඳ වැටීම් හේතුවෙන් අප රට තුළ නව සමාජ සංකීර්ණතාවන් උද්ගතව ඇති බවත් වෙසක් පුර පසළොස්වක පෝය දින නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් උන්වහන්සේ තව දුරටත් එහි මෙසේ ද සඳහන් කරති.
සකල ලෝක සත්ත්වයාට සුව ගෙන දෙන උතුම් සම්බුද්ධෝත්පාදය සිහි කරන වෙසක් පුන් පොහෝ දිනය සකල ලෝකවාසි බෞද්ධ මහජනයා ධර්මාර්ථ චර්යාවෙන් යුතුව අනුස්මරණය කරති.
ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරතව උතුම් සම්බුදු තෙමඟුලෙහි අසිරියත් සමගින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආදි ගුණධර්මයන්ගේ පෝෂිතව සම්බුද්ධ දේශනාවන්ගේ උතුම් පරමාර්ථයන් සාක්ෂාත් කර ගනිමින් ධර්මය තුළින් බුදුන් දැකීමට උත්සහවත් වීමට මෙම උතුම් පොහෝ දිනයේ සියල්ලන් අධිෂ්ඨාන කරගත යුතුය.
පසුගිය කාලය තුළ සිදුවූ ආර්ථික හා සමාජ බිඳ වැටීම් හේතුවෙන් අප රට තුළ නව සමාජ සංකීර්ණතාවන් උද්ගතව ඇත. එහෙයින් බෞද්ධයින් ලෙස වඩාත් ප්‍රඥාගෝචරව පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ණය ආදිකොට ගත් උතුම් බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් හි අර්ථය මනාව වටහා ගනිමින් සිගාලෝවාද, චක්කවත්ති සීහනාද, කූටදන්ත හා අග්ගඤ්ඤ ආදි සුත්‍රාන්ත දේශනාවෙහි පැහැදිලි කොට ඇති ආකාරයට සීලා දි ගුණධර්මයන්ගෙන් පෝෂිතව සිය වගකීම් හා යුතුකම් මත පිහිටා කටයුතු කිරීම වත්මන් ගෝලීය මෙන්ම සමාජීය අර්බුද සඳහා එකම විසඳුම බව සුපැහැදිලි කරුණකි.
එහෙයින් මනා සති-සම්පජඤ්ඤයෙන් යුක්තව පවත්නා මොහොතේ ස්වභාවය පිළිබඳ මනා අවබෝධයෙන් රට වාසීන් ලෙස සිය වගකීම් හා යුතුකම් ඉටු කිරීම යුහුසුළු විය යුතුය.
මෙම උතුම් පුන්පොහෝ දිනයේ උතුම් සම්බුද්ධෝපදේශයන් අර්ථවත් කරමින් දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් හි නිරතව මෙලොව පරලොව උභයාර්ථ සාධනය උදෙසා සිය ජීවත කුසලාංගයන්ගෙන් පෝෂණය කර ගනිමින් වීර්යවන්තව කටයුතු කිරීමට සැමට ශක්තිය ධෛර්ය සැලසේවා යි ප්‍රාර්ථනා කරන අතරම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සැමට ධර්මාලෝකයෙන් ප්‍රභාවිත සිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවැයි ආශිංසනය කරම්හ.