fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාර්තා තබමින් ලංකාව 100 වැනි ටෙස්ට් ජය ලබයි

    වාර්තා තබමින් ලංකාව 100 වැනි ටෙස්ට් ජය ලබයි

    අයර්ලන්තය සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද(28) ගාල්ලේ දී සිය 100වැනි ටෙස්ට් ජය වාර්තා කළේය.

    දෙවැනි ටෙස්ට් තරගයේ දී අයර්ලන්තයට ඉනිමක සහ ලකුණු 10 පරාජයක් උරුම කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් අලුත් කිරීම කැපී පෙනෙයි.

    1982 පෙබරවාරි 17-21 කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී එංගලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව 1985 සැප්තැම්බර් 06-11 කොළඹ දී ඉන්දියාව සමඟ පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 149කින් ජය ගනිමින් සිය පළමු ටෙස්ට් ජය වාර්තා කළේය.

    41 වසරක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ තරග 310 ක්‍රීඩා කර තිබෙන ශ්‍රී ලංකාව මේ වනවිට පරාජය වී ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 119කි. ඒ අතර තරග 92ක් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත්ව තිබේ.

    අයර්ලන්තය සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය සියලු දෙනා දැවී ලකුණු 492ක විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගත්ත ද ඔවුන්ට තරගය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

    ශ්‍රි ලංකා පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 704ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය වූ අතර පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් සිවු දෙනාම ශතක ලාභීන් වෙමින් ලොව එවැනි තෙවැනි දස්කම බවට එය පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.

    ඒ අතර ආරම්භක පිතිකරුවන් වූ නිශාන් මධුශ්ක 205, දිමුත් කරුණාරත්න 115,කුසල් මෙන්ඩිස් 245 සහ ඇන්ජලෝ මැතිවුස් නොදැවී 100 ලබා ගැනීම වාර්තා පොත් අතරට එක්විය. මෙයට අමතරව මෙරට ටෙස්ට් ක්‍රීඩකයකුගේ මංගල ශතකය ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කළ දෙවැනි ක්‍රීඩකයා බවට නිශාන් මධුශ්ක පත්විය. ප්‍රභාත් ජයසූරිය පළමු ඉනිමේ කඩුලු 5ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 2ක් ලබා ගනිමින් ලොව අඩුම තරග (07) සංඛ්‍යාවකින් වේගවත්ම කඩුලු 50 ලබාගත් දඟ පන්දුයවන්නා බවට පත්විය. ඔහු බිඳ දැමුවේ වසර 72 පැරණි වාර්තාවකි. දෙවැනි ඉනිමේ දී කඩුලු 5ක් දවාගත් රමේෂ් මෙන්ඩිස් මෙම තරගයේ දී කඩුලු 6ක් බිඳ දැමීමට සමත්විය. ඉනිම දෙකේදිම අසිත ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගනිමින් වේගපන්දු බලඇණිය ශක්තිමත් කළේය.

    ඉනිම දෙකේ දී ම කඩුලු හතක් දවාගත් ප්‍රභාත් ජයසූරිය තරගයේ විරයා සම්මානය දිනාගත් අතර තරග දෙකේ දී ම පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 385ක් ලබාගත් කුසල් මෙන්ඩිස් ට තරගාවලියේ වීරයා සම්මානය හිමිවිය.

    අයර්ලන්තය 492 සහ 202
    ශ්‍රි ලංකාව 704/3 ඉනිම අත්හිටුවීය

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.