සිංහල හින්දු අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමත් සමග නෑගම් යන්නට, අවුරුදු සෙල්ලම් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන්වෙයි.
මේ දිනවල දිවයිනට බලපා ඇති අධික උණුසුම සහිත කාලගුණය නිසා එළිමහනට යනවිට ඔබ වෙනදාට වඩා සැළකිලිමත් විය යුතු බව සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී සිටියි.
මෙම අවදානම් තත්ත්වය උද්ගතව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් බටහිර හා දකුණුදිග වෙරළ තීරයන් හි පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙනදාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟයි.
මෙම උෂ්ණත්වය අධික වකවානුවේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද යහ පැවැත්ම උදෙසා ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන ලෙස යළිත් සිහිපත් කරමු.
ඒ අනුව පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කරන්නට වගබලාගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය දැනුම් දෙයි.
- පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)
- පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම
- පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම
- හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම්වලට යොමු වීම
- එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම
- වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම.