තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලාංකේය වෛද්‍ය ඉතිහාසයේ නොමැකෙන සලකුණ මහාචාර්ය ප්‍රියානි සොයිසා දැයට සමුදෙයි

    ශ්‍රී ලාංකේය වෛද්‍ය ඉතිහාසයේ නොමැකෙන සලකුණ මහාචාර්ය ප්‍රියානි සොයිසා දැයට සමුදෙයි

    ශ්‍රී ලාංකේය වෛද්‍ය ඉතිහාසයේ නොමැකෙන සලකුණක් සනිටුහන් කළ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට පළමු මහාචාර්යවරිය වූ, අභාවප්‍රාප්ත මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(10) දින පස්වරු 5ට බොරුල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

    කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්යවරියක වන ඇය අභාවප්‍රාප්ත වනවිට 97 වැනි වියෙහි පසුවූවා ය.

    ඇය වෛද්‍ය විද්‍යාවට කලා වු ප්‍රගතිශීලී සේවය හේතුවෙන් රටේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ වෛද්‍යවරියකි.

    ප්‍රියානි සොයිසා මහත්මිය උපත ලැබුවේ 1925 දීය. මොරටුව ප්‍රින්සස් වෙල්ස් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ ඇය කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පළමු පන්තියේ ගෞරව සහිතව වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට සමත් වුවාය.

    ඉන්පසු රජයේ රෝහල් කිහිපයකම සේවය කළ අතර ළමා රෝග පිළිබඳ පශ්චාත් අධ්‍යයනය සඳහා මහා බ්‍රිතාන්‍යයට යාමට ඇය වරම් ලැබුවාය. කීර්තිමත් බ්‍රිතාන්‍ය පශ්චාත් උපාධිය Royal Cillege of Physician හි සම්පූර්ණ කල ඇය නැවත මෙරටට පැමිණියාය.

    රෝගී සත්කාර සහ අධ්‍යයන කටයුතු යන අංශ දෙකෙහිම සමබරව තම දස්කම් දැක්වු ඇය වෛද්‍ය විද්‍යාව සඳහා මෙතරම් උසස් අධ්‍යාපන සුදුසුකම් ලැබූ අපේ රටේ පළමු කාන්තාව ලෙස ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකරගැනීමෙන් තහවුරු කලාය.

    ඇය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කළාය. කොලෝ වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග අංශය භාරව සිටි මහාචාර්ය සී සී ද සිල්වා මහතා විශ්‍රාම යාම හේතුවෙන් වෛද්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට එම තනතුර භාර ගැනීමට සිදු විය. ඇය 1991 දී විශ්‍රාම යන විට කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ මහාචාර්යවරියක් ලෙස අඛණ්ඩව වසර විසිපහක් තම සේවය ලබාදුන්නාය.

    ඇගේ පර්යේෂණ භූමිකාව විද්‍යාඥයන් පවා මවිත කළ එකකි. ඇය බෝවන රෝග මෙන්ම පෝෂණය සම්බන්ධ බොහෝ පර්යේෂණ කටයුතුවල ද නිරත වී ඇත. ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකත්වය දැරූ ඇය එහි සභාපතිනිය ද වූවා ය.

    ඇය මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීමට ප්‍රබල හඬක්ව කැපවූ සමයේදී ඒ සම්බන්ධව මව්වරුන්ට අධ්‍යාපනයක් පැවති යුගයක් නොවීය. “පළමු මාස ​​හතර – මව්කිරි පමණක් ලබා දී දරුවන්ට දෙන කිරිපිටි ඉවත් කළ යුතුයි” යන නීති රටට හඳුන්වා දීමේ මඟපෙන්වන්නිය වූයේ ඇයයි.

    මව්වරුන්ට තම දරුවන් සමඟ ළමා වාට්ටුවල රැඳී සිටීමට අවස්ථා නිර්මාණය කිරීම, මව්වරුන්ට මාස තුනක් දක්වා මාතෘ නිවාඩු ලබාදීමට කටයුතු කිරීම, මව්කිරි දීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම, පෝලියෝ මර්දන වැඩසටහන, ළමුන්ගේ පෝෂණය පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කිරීම, ඇය මෙරට ළමා පරපුර වෙනුවෙන් කළ සුවිශේෂී මෙහෙවර අතර කැපී පෙනේ.

    ඇය වෛද්‍ය විද්‍යාලයෙන් විශ්‍රාම ලැබුවද ඇයගේ වගකිවයුතු වෛද්‍ය භූමිකාවෙන් විවේකයක් ගැනීමට ඇයට ඉඩ නොලැබුණි. ඇය Sri Lanka College of Paediatrians , The postgraduate institute of Medical Sciences) හි ප්‍රථම සභාපතිනිය වූවාය.

    වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ ළමා රෝග පිළිබඳ අධ්‍යයන මණ්ඩලයේ සභාපතිනිය ලෙසද ඇය කටයුතු කලාය. අපේ රටේ පර්යේෂකයන් සහ විද්‍යාඥයන් එක්රැස් කර පර්යේෂණ දිරිගැන්වීම සඳහා ආරම්භ කළ ප්‍රමුඛතම ආයතනය වන ජාතික විද්‍යා පදනමේ සභාපතිනිය ලෙස ද ඇය මෙරටට අමිල මෙහෙවරක් ඉටු කළාය.

    මහාචාර්ය ප්‍රියානි සොයිසා පෝෂණය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරියක ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශිෂ්ට මෙහෙවරක් ඉටු කළාය.

    මේ සියල්ල අතරේ බරපතළ අභියෝග හා බාධකවලට මුහුණදීමට ද ඇයට සිදුවූ අවස්ථා ඉතිහාසයට ද එක්ව තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ වෛද්‍යවරියකගේ නොසැලකිල්ලට (Law act to medical negligence) ගොනුකළ පළමු නඩුවට ද මුහුණදීමට ඇයට සිදුවිය.

    නීතීඥ රියන්සි අර්සකුලරත්න මහත්මිය හදිසි අසනීපයකින් පසුව ප්‍රතිකාර ගැනීම සඳහා 1992 අප්‍රේල් 18 දින තම දියණිය ඇය වෙත රැගෙන ආවාය. මහාචාර්යවරයා දැරියගේ රෝගය රූමැටික් රෝගියෙකු ලෙස හඳුනාගෙන ප්‍රතිකාර කළේය. රුමැටිකෝරියා රෝගයට මාසයක් ප්‍රතිකාර ගත්ත ද ඇත්තටම ඇයට තිබී ඇත්තේ මොළයේ පිළිකාවකි. ප්‍රතිකාර අතරතුර දැරියගේ දෙමාපියන් ඇයව ප්‍රතිකාරවලින් ඉවත් කර විදේශගත කර ඇතත් එම වසරේම ජුනි 19 වැනිදා දැරිය අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියාය.

    ප්‍රමාද නොවී හඳුනාගත්තේ නම් තම දියණිය බේරා ගැනීමට හැකිව තිබූ බව විශ්වාස කළ දැරියගේ පියා වන අර්සකුලරත්න මහතා ඇයට එරෙහිව දිසා අධිකරණයේ නඩු පවරා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පැමිණිලි පාර්ශ්වයට රුපියල් ලක්ෂ පහක් ගෙවන ලෙස ඇයට නියෝග කළේය. ඇය ඊට එරෙහිව අභියාචනවක් ඉදිරිපත් කළාය.

    නඩුව පහළ අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඉහළට ගියේය. එදා මාධ්‍ය තුළත් සමාජය පුරාත් මෙය කතාබහට ලක්විය. අවසානයේ මහාචාර්ය ප්‍රියානි සොයිසා සියලු චෝදනාවලින් නිදහස් වූයේ නඩු ගාස්තු ද නැවත ගැනීමට තීරණය කරමිනි. නමුත් ඇය සනාතන ධර්මය නීතියට වඩා වෙනස් මාර්ගයක් බව පෙන්වමින් නඩු ගාස්තුව පවා කරුණාවෙන් ප්‍රතික්ෂේප කළාය.

    දැනුමින්, පර්යේෂණවලින්, මෙහෙවරින්, අත්දැකීමෙන් සහ බුද්ධියෙන් වෛද්‍ය විද්‍යාවට මෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයටත් නොමැකෙන සලකුණු තැබූ මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය සිය අසමසම මෙහෙවර අවසන් කොට අද දින සිය අවසන් ගමන යන්නීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img