fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලංකන් කාගෝ ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ අලෙවි නියෝජිතයන් හමුවෙයි

    ශ්‍රීලංකන් කාගෝ ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ අලෙවි නියෝජිතයන් හමුවෙයි

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අංශය, අනාගත වර්ධනය වෙනුවෙන් උපාය මාර්ග සකස් කිරීම සඳහා ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ අලෙවි නියෝජිතයන් සමූහයක් සමඟින් පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී.

    ගුවන් ගමන් සඳහා ඉහළ යන මගී ඉල්ලුමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට ද අඩු ධාරිතාවක් සමඟ මෙහෙයුම් පවත්වාගෙන යාමට සිදු වී ඇති අභියෝගාත්මක වෙළඳ පරිසරයක් මධ්‍යයේ මෙම උපායමාර්ගික සැලසුම් රැස්වීම පැවැත්විණි.

    මෙහිදී ඉදිරිපත් කරන ලද යෝජනා අනාගත අභියෝග ජයගැනීමට සහ ගුවන් භාණ්ඩ ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක් ඇති කිරීමට උපකාරී වනු ඇතැයි ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය විශ්වාස කරයි.

    ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳපොළ නියෝජනය කරන සාමාන්‍ය විකුණුම් නියෝජිතයන්, හොංකොං, දකුණු කොරියාව, ඕස්ට්‍රෙිලියාව, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ප්‍රංශය, එක්සත් රාජධානිය, ජර්මනිය, සහ පකිස්ථානය යන රටවල නියෝජිතයන් මෙම උපායමාර්ගික සැලසුම් රැස්වීමට සහභාගී වූහ.

    සාමූහිකව, ඵලදායි සැසියක් සහතික කරමින් වර්තමාන අභියෝගවලට පිළිතුරු ලෙස ගෝලීය ඉදිරිදර්ශනයක් පවත්වාගෙන යාම ඇතුළු ඵලදායී අදහස් සාකච්ඡා කිරීමට මෙහිදී ඔවුන්ට හැකි විය.

    වාණිජ මගී ගුවන් ගමන් නැවත යථා තත්ත්වයට පත් කිරීමත් සමඟ ගුවන් භාණ්ඩ කර්මාන්තයේ ධාරිතා සීමා කිරීමට සිදුවීම හේතුවෙන් ගුවන් භාණ්ඩ අංශයේ වැඩි තරඟකාරිත්වයක් ඇතිව තිබේ.

    එවැනි වාතාවරණයක් තුළ තරඟකාරීත්වය පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහි දී අවධානය යොමු විය.

    තවද ගනුදෙනුකරුවන්ට පහසුවක් ඇති කරන ක්‍රියාවලි සහ සේවා වැඩිදියුණු කිරීම් තවදුරටත් ස්වයංක්‍රීය කිරීම මෙහිදී අවධානය යොමු කරන ලද කරුණක් විය.

    ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය ඉදිරි ක්‍රියාවලිය සහ සේවා වැඩිදියුණු කිරීම් ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරියේ දී සකස් කරනු ඇත.

    ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය යනු කලාපයේ ප්‍රධාන ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාකරුවන්ගෙන් එක් අයෙකු වන අතර රටවල් 22 ක ගමනාන්ත 34 කින් සමන්විත ගෝලීය මාර්ග ජාලයකට සැපයුම් සම්බන්ධතා සපයයි.

    නවීන යටිතල පහසුකම්වලින් සමන්විත ශ්‍රීලංකන් කාගෝ සියලු වර්ගවල භාණ්ඩ කාර්යක්ෂමව සහ විශ්වාසනීය ලෙස හැසිරවීමට සූදානම් වේ. වැඩි විස්තර සඳහා www.srilankancargo.com වෙත පිවිසෙන්න.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.